දික්වැල්ලගෙන් වේගවත් ශතකයක්

අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

1453
අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය අද (29) සෙබස්තියනයිට්ස් සහ NCC ක්‍රීඩා සමාජ අතර තරගයෙන් ආරම්භ වුනා.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරන මෙම කණ්ඩායම් කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී මුණ ගැසුණු අතර එහි දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියනයිට්ස් නායක ශශ්‍රීක පුස්සෙගොල්ල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් එම තීරණය ඔවුන්ට එතරම් ම සුබදායී එකක් නොවූ අතර ඉනිමේ 40 වැනි පන්දුවාරය නිමා වන විට සෙබස්තියනයිට්ස් ඉනිමේ අවසන් කඩුල්ල ද දවා ගැනීමට NCC කණ්ඩායමේ අශේන් ඩැනියෙල් විසින් සමත් වුනා. එය ඩැනියෙල් විසින් මෙම ඉනිමේ දවා ගත් තෙවැනි කඩුල්ල ලෙස සටහන් වූ අතර ඊට අමතරව අසෙල් සිගේරාගේ ගිණුමට ද කඩුලු 3ක් බැර වී තිබුණා.

සෙබස්තියනයිට්ස් විසින් පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙස NCC ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි නායක ලහිරු උදාර සහ නිරෝශන් දික්වැල්ල විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 195ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දුවාර 29ක් පමණක් වීම විශේෂත්වයක්.

මෙහි දී දික්වැල්ල විසින් 128.42ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගනිමින් පන්දු 95ක දී ලකුණු 122ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු මොහොමඩ් ඩිල්ශාඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

කෙසේ වෙතත් NCC අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර දිනය අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 90ක් පමණක් වැය කරමිනුයි.

අද දිනයේ තරගයට අවස්ථා කිහිපයක දී ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, පසුව අඳුරු ආලෝක තත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් පියවර ගත්තා. ඒ වන විට NCC ඉනිමේ පන්දුවාර 32ක් අවසන් වී තිබූ අතර ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වී සිටියේ සෙබස්තියනයිට්ස් පළමු ඉනිමට වඩා ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමිනුයි.

සෙබස්තියනයිට්ස්– 120 (40) ඉසිවර දිසානායක 24, තරිඳු රත්නායක 20, අභිශේක් ලියනාරච්චි 20, අශේන් ඩැනියෙල් 3/26, සෙල් සිගේරා 3/30, ලසිත් ඇඹුල්දෙනිය 2/44

NCC– 211/1 (32) නිරෝශන් දික්වැල්ල 122, ලහිරු උදාර 84*

මෙම තරගයේ දෙවැනි දිනය හෙට (30) ආරම්භ වීමට නියමිත අතර, ඊට අමතරව තරගාවලියේ තවත් තරග නවයක් හෙට දිනයේ ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිබඳ සියලු විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<