KKR වැඩබලන නායකත්වයට අලුත් අයෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

1504
Nitish Rana to captain KKR
Getty Images

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස වමත් පිතිකරු Nitish Rana පත් කිරීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කණ්ඩායමේ නිත්‍ය නායක Shreyas Iyerට කොන්ද ආශ්‍රිතව හට ගත් ආබාධයක් නිසා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වන අතර ඒ් සමඟ හිස් වන ස්ථානය සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණා.

2018 වසරේ සිට Kolkata Knight Riders නියෝජනය කරන Nitish Rana අවසන් තරග වාර පහේම ලකුණු 300 සීමාව පසු කිරීමට සමත් වූ අතර ඔහු දේශීය තරග පිටියේ දිල්ලි කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන නායකත්ව අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්.

ඔහු ඉන්දීය ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර 2021 වසරේ පැවති ශ්‍රී ලංකා සංචාරයේ දී ඔහු විස්සයි විස්ස තරග දෙකකට සහ එක් එක්දින තරගයකට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ඇති වූ ආබාධයක් නිසා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය Iyerට අහිමි වීමෙන් පසුව වැඩ බලන නායකයෙකු පත් කිරීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කළ අතර නායකයින් සලකා බැලීමේ දී ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන Andre Russell, Sunil Narine සහ Tim Southee ද කණ්ඩායමේ සිටියා.

නමුත් කණ්ඩායම් බලධාරීන් Nitish Rana මත සිය විශ්වාසය තබමින් ප්‍රකාශ කළේ සිය නිත්‍ය නායක Shreyas Iyer තරගාවලියේ අවසන් අදියරේ දී හෝ කණ්ඩායමට එක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම තරගාවලියට පෙර ආබාධයට ලක් වූ Rajasthan Royals වේගපන්දු යවන ක්‍රීඩක Prasidh Krishnaගේ ස්ථානය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩක Sandeep Sharma කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔහු සිය මූලික වටිනාකම වන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට කණ්ඩායමට එක් කරගෙන ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු තරග වාර 10ක් ක්‍රීඩා කරමින් කඩුලු 100ක් දවා ගෙන තිබෙනවා.

Rajasthan Royals ඔහුගේ තෙවැනි IPL කණ්ඩායම වන අතර ඔහු මීට පෙර Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

Sandeep ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග දෙකකට ක්‍රීඩා කර තිබෙන අතර 2022 දක්වා Sunrisers Hyderabad නියෝජනය කළ ඔහු මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැහැ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ පීඩා විදි ආබාධයකට සැත්කමක් සිදු කිරීමට ඇති නිසා Prasidh Krishnaට මෙවර තරග වාරය අහිමි වන බව කණ්ඩායම පෙබරවාරි මාසයේ දී තහවුරු කළා.

ලීග් පිටියේ පැවැත්වෙන විශාලතම ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර අදියර මාර්තු 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<