එංගලන්තය සිය දෙවැනි හොඳම ලෝක කුසලාන ගමන සටහන් කරයි!

5
Jude Bellingham

2026 පාපන්දු ලෝක කුසලානයේ 33 වැනි දිනයට අදාළ ව තවත් එක් තරගයක් අද (19) අලුයම ක්‍රියාත්මක වුනා.

මෙම තරගයේ දී තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා එංගලන්තය සහ ප්‍රංශය තරග වැදුණු අතර, එහි දී එංගලන්තය විසින් ගෝල 6-4ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ එංගලන්තය විසින් ගෝල හතරක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙහි දී Declan Rice, Ezri Konsa එක් ගෝලය බැගින් වාර්තා කරන අතරේ, Bukayo Saka ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ දරුණු පසුබෑමකට ලක් වූ ප්‍රංශය තරගයේ දෙවැනි අර්ධයේ මිනිත්තු 18ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් නැවත තරගයට අවතීර්ණ වීමට සමත් වුනා.

මෙහි දී ප්‍රංශය වෙනුවෙන් Kylian Mbappe ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර, ඒත් සමඟම ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ 22 වැනි ගෝලය ද වාර්තා කරමින්, වැඩම ගෝල ලාභියාගේ වාර්තාව Lionel Messiගෙන් උදුර ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔහු මෙවර ලෝක කුසලානය තුළ ගෝල 10ක් සහ Assist 4ක් වාර්තා කරමින් Golden Boot සම්මානය සඳහා පෙරමුණේ පසු වනවා.

මේ අතර තරගයේ ගෝල තත්වය 4-3ක් ලෙස පවතින අතරේ, Bukayo Saka දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් එංගලන්තය වෙනුවෙන් පස් වැනි ගෝලය මෙන්ම, තම ගෝල ත්‍රිත්වය ද සම්පූර්ණ කර ගැනීමට සමත් වුනා.

තරගයට එතැනින් ද නතර නොවූ අතර තරගයේ 90+6 මිනිත්තුව තුළ ප්‍රංශයේ සිව්වැනි ගෝලය Ousmane Dembele විසින් වාර්තා කළ අතර, 90+8 මිනිත්තුව තුළ එංගලන්තය වෙනුවෙන් Jude Bellingham ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. එය ඔහු තරගාවලිය තුළ වාර්තා කළ 07 වැනි ගෝලය වන අතර, එංගලන්ත ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියක දැක් වූ ඉහළම දක්ෂතාව ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා.

මේ අතර ප්‍රංශ ක්‍රීඩක Michael Olise විසින් මෙම තරගය ද ඇතුළුව තරගාවලිය පුරාවට ගෝල සහය වීම් (Assists) හතක් සිදු කිරීමට සමත් වූ අතර, එය මීට පෙර Assists 06ක් සමඟ Pele තබා තිබූ වාර්තාවක් බිඳ දැමීමට සමත් වුනා.

එමෙන්ම ප්‍රංශය මෙසේ ලෝක කුසලාන තරගාවලියක තරග දෙකක් නොකඩවා පරාජය වන්නේ 2010 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට එංගලන්තය සමත් වන අතර, මෙය එංගලන්තය විසින් 1966 වසරේ දී ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව දැක් වූ හොඳම ලෝක කුසලාන දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

මේ අතර මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය හෙට (20) අලුයම 12.30ට ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතයි.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>