දෙවැනි දිනය නිමාවන විට නව තරගාවලි වාර්තා 12ක් – ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

130

මේ දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 94 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේ දිවාකාලය නිමාවත්ම නව තරග වාර්තා 12ක් බිහිව තිබූ අතර එස්. දුලාංජනී (23න් පහළ කාන්තා තුන්පිම්ම), ප්‍රමෝද් මදුබාෂ් (16න් පහළ දුර පැනීම බාලක), විදූෂා ලක්ෂාණි (20න් පහළ බාලිකා තුන්පිම්ම), එස්.කේ. ධර්මරත්න (20න් පහළ බාලිකා රිටි පැනීම), අනිත්තා ජගතීස්වරන් (20න් පහළ බාලිකා රිටි පැනීම), ඒ.එන්. කරුණාසිංහ (23න් පහළ පිරිමි තුන්පිම්ම), ඩබ්ලිව්. එම්. නියොමාල් (20න් පහළ මිටිය විසි කිරීම), කේ. නප්තාලිජොයිසන් (18න් පහළ බාලක රිටි පැනීම), එස්. දිලක්ෂන් (18න් පහළ බාලක රිටි පැනීම), දිලානි ලක්ෂිකා (16න් පහළ බාලිකා මීටර් 3000 ඇවිදීම), සුදේශ් උදයංග (16න් පහළ බාලක මීටර් 3000 ඇවිදීම), එච්.අයි. සඳරුවන් (23න් පහළ පිරිමි රිටි පැනීම), කේ. කනකේශ්වරී (18න් පහළ බාලිකා මීටර් 5000 ඇවිදීම) සහ පී.බී. ගයානි (23 න් පහළ කාන්තා මීටර් 10000 ඇවිදීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අදාළ තරගාවලි වාර්තාවන්හි නව හිමිකාරිත්වය ලබා ගැනීමට සමත්වූහ.

ඒ අනුව ඊයේ සවස් භාගයේ පැවැති 23න් පහළ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 12.76ක දුරක් සටහන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ඒ.එස්. දුලාංජනී දිනාගත් අතර 16න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය මීටර් 6.83ක දුරක් සටහන් කළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ ප්‍රමෝද් මදුබාෂ් විසින් දිනා ගන්නා ලදි.

එහිදී අවුරුදු 20න් පහළ බාලිකා තුන්පිම්ම ඉසව්වෙන් නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදූෂා ලක්ෂාණි මීටර් 13.12ක දුරක් සටහන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානයත්, අවුරුදු 20න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදී වලල ඒ. රත්නායක ම.ම.විද්‍යාලයේ එස්.කේ. ධර්මරත්න මීටර් 3.1ක උසක් සටහන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානයත්, 23 න් පහළ පිරිමි තුන්පිම්ම පළමු ස්ථානය මීටර් 15.95ක දුරක් සටහන් කළ යුද හමුදාවේ ඒ.එන්. කරුණාසිංහටත් හිමිවූ අතර ඩබ්ලිව්. එම්. නියොමාල් වයස අවුරුදු 20න් පහළ මිටිය විසි කිරීමේ බාලක ඉසව්වෙන් මීටර් 33.02ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගත්තේ නව තරගාවලි වාර්තා අතරට එක්වෙමිනි.

මේ අතර යාපනය අරුණෝද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වූ කේ. නප්තාලිජොයිසන් 18න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේ මීටර් 4.20ක උසක් වාර්තා කරමින් එම පළමු ස්ථානය දිනාගත් අතර 16න් පහළ බාලිකා මීටර් 3000 ඇවිදීමේ ඉසව්වෙන් වි.18. තත්.22.19ක කාලයක් සටහන් කළ දඹදෙණිය ම.ම.විද්‍යාලයේ දිලානි ලක්‍ෂිකා එම පළමු ස්ථානයද, 16න් පහළ බාලක මීටර් 3000 ඇවිදීමේ තරගයෙන් වි.15 තත්.35.20ක කාලයක් සටහන් කළ සුදේශ් උදයංග එම පළමු ස්ථානයද දිනාගැනීමට සමත්විය.

තවද 23න් පහළ පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 4.70ක් උසක් වාර්තා කළ ගුවන් හමුදාවේ එච්. අයි. සඳරුවන් එම ඉසව්වේ පළමු ස්ථානය දිනාගනිද්දී 18න් පහළ බාලිකා අංශයේ මීටර් 5000 ඇවිදීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් කේ. කනකේශ්වරී ඒ සඳහා වි.28 තත්.31.03ක කාලයක්ද වයස 23 න් පහළ කාන්තා මීටර් 10000 ඇවිදීමේ ඉසව්ව වි.55 තත්.07.04ක කාලයක් සටහන් කළ යුද හමුදාවේ පී.බී. ගයානි එම ඉසව්වේ පළමු ස්ථානයද හිමිකර ගනු ලැබීය.