සාන්ත තෝමස් විද්‍යාලයේ රයන්ගෙන් ශතකයක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

157
U19 Schools Cricket 2021

සාන්ත තෝමස් විද්‍යාලයේ මැදපෙළ දකුණත් පිතිකරුවෙක් වන රයන් ප්‍රනාන්දු අගනා ශතකයක් ලබා ගනිමින් සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව දක්ෂ පිතිකරණයක නිරත වුනු අතර ඊයේ (17) දිනයේ දී දෙදින තරග දෙකක් ආරම්භ වෙද්දී තවත් දෙදින තරගයක නිමාව සටහන් වුනා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දුවට පහර දුන්නා. එහි දී ඔවුන් ලකුණු 118කට දවා ගැනීමට ගුරුකුල විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන විහඟ ඉරංජන ඇතුළු පන්දු යවන්නන් සමත් වුනු අතර ඉනිමේ ලකුණු අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් නොදැවී සිය පිතිකරණය දියත් කිරීමට අශේන් ද සොයිසා සමත් වුනේ ලකුණු 72*ක් ලබා ගෙනයි.

එයට පිළිතුරු දුන් ගුරුකුල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවද්දී කෙමිර නයනතරු ලකුණු 66ක් ලබාගෙන ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා. ඊට අමතරව නෙලුක හෙෂාන් (නොදැවී) සහ ජනිත ශෙහාන් ලකුණු 54 බැගින් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

ලකුණු 155ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණි සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 235කට සීමා වීමත් සමඟම තරගයේ ජයග්‍රහණය සඳහා ගුරුකුල විද්‍යාලයට ලකුණු 81ක ඉලක්කයක් ලැබුණු නමුත් ඔවුන්ට එය හඹා යාමට ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ.

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 118 (41.5): අශේන් ද සොයිසා 72*, විහඟ ඉරංජන 5/19, තුෂාර වනිගසිංහ 2/29 සහ 235 (84.3) පසන් සුවහස් 66, අශේන් ද සොයිසා 52, ශරුජන් ශාන්මුගනාතන් 40, මලින්ද පෙරේරා 26, සිතිජ චමෝද් 2/17, තුෂාර වනිගසිංහ 2/37, කෙමිර නයනතරු 2/49.   
  • ගුරුකුල විද්‍යාලය – 273/5d (65): කෙමිර නයනතරු 66, ජනිත ශෙහාන් 54*, නෙලුක හෙෂාන් 54, මලින්ද පෙරේරා 2/73 සහ 30/1 (5)  

තරගය ජය පරාජෙය්න් තොරව අවසන්

තවත් ක්‍රිකට් පුවත්:

රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

තවත් දෙදින තරගයක් වුනු මේ තරගය රාජකීය විදුහල් පිටියේ දී ආරම්භ වුනු අතර තරගයේ පළමු දිනය අවසන් වන වට රාජකීය විද්‍යාලය තරගයේ වැඩි වාසිය දිනාගෙන සිටියා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 188ක් වැනි මට්ටමකට සීමා කර ගැනීමට වෙස්ලි පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා. දසිස් මංචනායක ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් 4 පහර 12ක් සමඟ පන්දු 89ක දී ලකුණු 78ක් ලබා ගනිමින් රාජකීය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. පන්දු යැවීමේ දී එස්. ශකීර්තන් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන වෙස්ලි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 92ක් ලබාගෙන අසීරු මට්ටමක සිටිනවා. පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ප්‍රශාන් කල්හාර සහ ගිශාන් බාලසූරිය කඩුලු 2ක බැගින් දවා ගත්තා.

  • රාජකීය විද්‍යාලය – 188 (56.5): දසිස් මංචනායක 78, එස්. ශකීර්තන් 3/21, තේනුක පෙරේරා 3/32, රවිඳු සිගේරා 2/35  
  • වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ දී) – 92/7 (38) අනුදිත් වික්‍රමසිංහ 25*, ප්‍රශාන් කල්හාර 2/21, ගිශාන් බාලසූරිය 2/26.  

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

මයිකල් තිසේරා සහ රෝයි ඩයස් අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාල නායක ශලින් ද මෙල් සිය විදුහල් පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙහි දී සාන්ත තෝමස් පළමු ඉනිම සවිමත් කළ රයන් ප්‍රනාන්දු 4 පහර 15ක් එල්ල කරමින් පන්දු 153ක දී ලකුණු 103ක් ලබා ගත්තා. අවසානයේ දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවා සාන්ත පීතර විද්‍යාලයට පන්දුවට පහර දීම සඳහා ආරාධනා කළා.

සාන්ත තෝමස් වමත් වේගපන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ පළමු පන්දුවාරයේ දී ම සාන්ත පීතර විද්‍යාලයේ කඩුලු 2ක් පිට පිට පන්දු දෙකක් තුල දවා ගනිමින් ප්‍රබල පීඩනයක් සාන්ත පීතර විද්‍යාලයට එල්ල කිරීමට සමත් වුනත්, ශෙනාල් බොතේජු සහ ලහිරු දවටගේ එම පීඩනය යම් මට්ටමකට පාලනය කිරීමට සමත් වුනා.

  • සාන්ත තෝමස් විද්‍යාලය – 227/7d (79.5): රයන් ප්‍රනාන්දු 103, ශලින් ද මෙල් 35, අනුක් පලිහවඩන 30, මහිත් පෙරේරා 24, නිමාන් උමේෂ් 2/35, ජෙසුරන් බෙන්ජමින් 2/41, වනුජ කුමාර 2/80.
  • සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ දී) – 51/2 (12): ශෙනාල් බොතේජු 30*, ලහිරු දවටගේ 21*.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<