රාහුල විද්‍යාලය මංගල ජයග්‍රහණය ලබා ගනී

15th Battle of the Golden Lions

12

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවැති රන් සිංහ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 23ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මාතර රාහුල විද්‍යාලය (6) සමත් වෙනවා. ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.  

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.  

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

නදිල් සංදේශ් (නායක), හිරුන් මන්යුග, පවර පබසර (කඩුලු රකින්නා), ජනිරු විජයවර්ධන, ආයු කවිරාජ්, ප්‍රමුදිත නවාංජන, නවිරු නේත්වාන්, චතුම් ගීනාත්, ඉශන්ත ගිම්හාන, සෙනුක් දෙව්දිත සහ ලිතුම් සෙයුනිත. 

 

ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

මෙනුෂ පබසර (නායක), බිසාර අංජන, සිතික කටුගම්පොළ (කඩුලු රකින්නා), නුලාන් සෙනෙවිරත්න, නිම්නත් වින්සර, නිසලිත සංදිව්, යොමාල් ඩැනියෙල්, සනුග දුල්මික, රමිරු මන්දීප, දිනුර නෙත්විඳු සහ අනුහස් මිහිරාන්. 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලයට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 139ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නිසලිත සංදිව්. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. 

ඊට අමතර ව ආරම්භක පිතිකරු බිසර අංජන පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී හිරුන් මන්යුග ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නවිරු නෙත්වාන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය නායක නදිල් සංදේශ් සතු වුණා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාහුල විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 122ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වුණා. ඒ වෙද්දී හිරුන් මන්යුග පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද සහ ජනිරු විජේවර්ධන පන්දු 42කට මුහුණ දෙමින් නොදැවි ලකුණු 25ක් ද ලබා සිටියා.  

පළමු දිනයේ දැවී ගිය පිතකරු වූයේ පවර පබසර වන අතර ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.  

තරගයේ 2 වැනි දිනයේ රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 276ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.  

පෙර දින නොදැවී පිටියේ රැඳී සිටි හිරුන් මන්යුග පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් ලබා සිටිය දී දිනයේ පළමු පිතිකරු ලෙසින් දැවී යද්දී රාහුල ඉනිම කඩුලු 2කට ලකුණු 142ක් බවට පත් ව තිබුණා.  

ජනිරු විජයවර්ධන ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් ලබා සිටියා. ඊට අමතර ව ආයු කවිරාජ් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද සහ ප්‍රමුදිත නවාංජන පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී සනුග දුල්මික ලකුණු 95කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නායක මෙනුෂ පබසර සහ දිනුර නෙත්විඳු කඩුල්ල බැගින් දවා ගත්තා.  

ලකුණු 137ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ධර්මාපාල විද්‍යාලය එවර ලබා ගන්නේ ලකුණු 114ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නිසලිත සංදිව්. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව සනුග දුල්මික පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ද සහ සිතික කටුගම්පොළ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී හිරුන් මන්යුග ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් 2 වැනි ඉනිමේ දී ද වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා. ඔහු තරගයේ දී ලකුණු 83කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ධර්මපාල විද්‍යාලයීය 2 වැනි ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී හිරුන් මන්යුගට අමතර ව නායක නදිල් සංදේශ් ලකුණු 18කට කඩුලු 3ක් ද සහ නවිරු නේවාන් කඩුල්ලක් ද දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ධර්මපාල විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 139 (51.2) බිසර අංජන 21, නිසලිත සංදිව් 35, රමිරු මංදීප 23, හිරුන් මන්යුග 5/48, නවිරු නෙත්වාන් 4/29 
  • රාහුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 276 (62.1)හිරුන් මන්යුග 75, පවර පබසර 28, ජනිරු විජයවර්ධන 104, ආයු කවිරාජ් 29, ප්‍රමුදිත නවාංජන 22, සනුග දුල්මික 3/95 
  • ධර්මපාල විද්‍යාලය – දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 114 (54.4) සිතික කටුගම්පොළ 20, නිසලිත සංදිව් 37, සනුග දුල්මික 31, හිරුන් මන්යුග 4/35, නදිල් සංදේශ් 3/18 

රාහුල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 23ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ආයු කවිරාජ් (රාහුල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා– හිරුන් මන්යුග (රාහුල විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතමපිතිකරු – ජනිරු විජයරත්න (රාහුල විද්‍යාලය) 
  • තරගයේ වීරයා -හිරුන් මන්යුග (රාහුල විද්‍යාලය) 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<