මැංගුස් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි

66th Battle of the Mangosteens

3
Cricket

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 66 වැනි වරටත් පැවැති මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අද (9) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අවසන් වූව ද තරගයේ වැඩි වාසි කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සතු වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. ඊට පිළිතුරු ලෙසින් කළුතර විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගන්නේ ලකුණු 69ක් වන අතර ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන් තරගය නතර කරන විට 2 වැනි කඩුල්ලට කඩුලු 6ක් දැවී ලකුණු 190ක් ලබා සිටියා.

>>නෙත්සර මැංගුස් සටනට ශතකයක් එක් කරයි<<

පෙර දින පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය වේලාසනින් අවසන් වෙද්දී පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 247ක් ලබා සිටියා.

ඒ වෙද්දී  ඉනිම ආරම්භ කළ නෙත්සර යශ්මිත නොදැවී ලකුණු 130ක් ලබා සිටි අතර අද ඔහු තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 275කට අත් හිටුවන විට පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශීර්ෂ තාරක ලකුණු 53කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රවිශ්ක ගිම්හාන් කඩුලු 2ක් ද, යදීශ හසරංග සහ හිරුෂ ගගනක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර විද්‍යාලයීය ඉනිම ලකුණු 69කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. එහි දී ආරම්භක පිතිකරු විහඟ සපුමල් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර ඊට අමතර ව අකේශ් ශමින්ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගත්තා.

කළුතර විද්‍යාලයේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි වූ අතර එහි දී නායක මලිඳු ඩිල්ශාන් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව හශේන් ඉම්සර ලකුණු 7කට කඩුලු 3ක් ද සහ විශ්ව ඔශාන් කඩුල්ලක් ද දවා ගන්නවා.

ලකුණු 206ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට 2 වැනි ඉනිමටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කළුතර විද්‍යාලය තරගය අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 190ක් ලබා සිටියා.

එහි දී ආරම්භක පිතිකරු විහඟ සපුමල් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා ගත් අතර ඊට අමතර ව අකේශ් ශමින්ද පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් එක් කරනවා.

ඊට අමතර ව තරගය අවසන් වෙද්දී නායක ශීර්ෂ තාරක පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නායක මලිඳු ඩිල්ශාන් ලකුණු 96කට කඩුලු 3ක් ද, තාරුක සමින්ජිත් කඩුලු 2ක් ද සහ විශ්ව ඔශාන් කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 247 (60.0) නෙත්සර යශ්මිත නොදැවී 150, කරුණාමුණි අශේන් 40, මලිඳු ඩිල්ශාන් 51, ශීර්ෂ තාරක 3/53, රවිශ්ක ගිම්හාන් 2/24
  • කළුතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 69 (29.1) විහඟ සපුමල් 34, මලිඳු ඩිල්ශාන් 5/28, හශේන් ඉම්සර 3/07
  • කළුතර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 190 (62.0) විහඟ සපුමල් 79, අකේශ් ශමින්ද 57, ශීර්ෂ තාරක නොදැවී 19, මලිඳු ඩිල්ශාන් 3/96, තාරුක සමින්ජිත් 2/36

තරගයේ විසඳුමක් නෑ.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – යදීශ හසරංග (කළුතර විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මලිඳු ඩිල්ශාන් (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පිතිකරු – නෙත්සර යශ්මිත (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)

 

තරගයේ වීරයා – මලිඳු ඩිල්ශාන් (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<