“අපි නටන්නේ සතුටටයි” – විනිෂියස් Jr.

723

බ්‍රසීල කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෝල වාර්තා කිරීමෙන් පසු විවිධ නර්තනයන් ඉදිරිපත් කිරීම ගැන විවිධ පාර්ශව පසුගිය දා අදහස් පළකොට තිබුණා. ඇතැමුන් පවසා තිබුණේ එය අගෞරව සම්පන්න බවයි.

එහෙත් බ්‍රසීල කණ්ඩායමේ ඉදිරිපෙළ වම් කෙළවරේ ක්‍රීඩක විනිෂියස් ජූනියර් පවසන්නේ නර්තනයෙන් ගෝල සතුට සැමරීම බ්‍රසීල සංස්කෘතියේ කොටසක් බවයි. බ්‍රසීලය විසින් දකුණු කොරියාව ගෝල 4-1ක් ලෙස පරාජය කොට 16 දෙනාගේ වටයෙන් ඉදිරියට ගිය නමුත් කතාබහට ලක්වුණේ ඔවුන්ගේ පාපන්දු දස්කම් ගැන පමණක් නොවේ.

හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් මැදපෙළ ක්‍රීඩක Roy Keane (රෝයි කීන්) විසින් බ්‍රසීල ගෝල සැමරුම් දැඩිව විවේචනය කෙරුණා. ඔහු පැවසුවේ එය ප්‍රතිවාදී කණ්ඩායමට කෙරෙන අගෞරවයක් බවයි.

සහතිකයි සමහරු කැමතියි කෙනෙක් සතුටින් ඉන්න එක ගැන චෝදනා කරන්න. බ්‍රසීලියානුවෝ හැටියට අපි සතුටින් ඉන්න ජාතියක්. ඒ හින්දා එක හැමවිටම කරදරයක් වේවි”, මාධ්‍ය හමුවක දී විනීෂියස් එසේ පැවසුවා.

ගෝලයක් කියන්නේ ෆුට්බෝල් වල තියෙන වැදගත්ම දේ. ලෝක කුසලානෙක දී ඒක තවත් වැදගත්. ඒ හින්දා ක්‍රීඩකයන් හැටියට ඒක අපි විතරක් විඳින්න ඕන අවස්ථාවක් නෙමෙයි, මුළු රටම විඳින්න ඕන අවස්ථාවක්,” ඔහු පැවසුවා.

අපි ගාව තව සැමරුම් කිහිපයක් ලෑස්ති පිට තියෙනවා. ඒ හින්දා අපි වඩා හොඳට ක්‍රීඩා කරමින්, තරග දිනමින් ඒ වැඩේ දී සතුටින් ඉන්න ඕන”, ඔහු වැඩිදුරටත් පැවසුවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<