සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නැවතත් ශූරතාවයට

12th Battle of the Fraternal 2023

205

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සටන (Battle of the Fraternal)12 වැනි වරටත් ඊයේ (17) සහ අද (18) කටුනායක වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 75ක ජයක් ලබා ගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නැවත වරක් පූර්ණ තරග ප්‍රතිඵලයක් සහිතව තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සිය පළමු ඉනිමට 196ක් ලබා ගත් අතර නායක මෙනූෂ පෙරේරා ලකුණු 29ක් ලබා ගත්තා. සුහද ප්‍රනාන්දු ලකුණු 25යි. පන්දු යැවීමේ දී රෂිත ශෙනුල් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ සාන්ත මරියා විද්‍යාලයේ පළමු කඩුලු 5 ලකුණු 9ක් තුල දවා ගන්නට දකුණතින් වේගපන්දු යවන සුහද ප්‍රනාන්දු ඇතුළු සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පන්දු යවන්නන් සමත් වුනා.

ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් පස්දෙනෙක් ලකුණු නොලබාම දැවී යන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 17ක සබඳතාවයක් ගොඩනැංවීමට ජෝර්ජ් ප්‍රනාන්දු සහ කවිඳු ආකාෂ් සමත් වුනා. එය සාන්ත මරියා පළමු ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවයයි.

පන්දු යැවීමේ දී සුපිරි පන්දුකරණයක නිරත වුනු සුහද ප්‍රනාන්දු ලකුණු 9කට කඩුලු 7ක් බිඳ දමමින් සාන්ත මරියා පළමු ඉනිම ලකුණු 41කට සීමා කළා.

ලකුණු 155ක පළමු ඉනිමේ අවාසියක් සහ දැඩි පීඩනයක් සහිතව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත මරියා ක්‍රීඩකයින් වෙනුවෙන් නැවතත් වැඩිම ලකුණු අතරට පැමිණියේ ජෝර්ජ් ප්‍රනාන්දුයි. ඔහු දෙවැනි ඉනිම තුල ලකුණු 33ක් ලබා ගත් අතර එම ඉනිමේ දී ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 14ක් තුල බිඳ වැටුණා.

පන්දු යැවීමේ දී රවීන් චේතන දෙවැනි ඉනිම තුල කඩුලු 5ක දස්කමක් දැක්වූයේ සමස්ත තරගය පුරාවට කඩුලු 6ක් දවාගෙනයි. සාන්ත ජෝසප් වාස් ජයග්‍රහණයේ නියමුවා වුනු සුහද ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 7 දස්කමට අමතරව දෙවැනි ඉනිම තුල කඩුලු 3ක දස්කමක් දක්වමින් සමස්ත කඩුලු 10ක් තරගය තුල බිඳ හෙළුවා.

සම්මාන බෙදී ගිය ආකාරය

  • තරගයේ වීරයා – සුහද ප්‍රනාන්දු (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – සුහද ප්‍රනාන්දු (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරුවා – ජෝර්ජ් ප්‍රනාන්දු (සාන්ත මරියා විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – රවීන් සවියෝ (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)

ලකුණු සාරාංශය:

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 196 (62.3): මෙනූශ පෙරේරා 29, සුහද ප්‍රනාන්දු 25, රෂිත ශෙනුල් 3/18, ජෝර්ජ් ප්‍රනාන්දු 2/37

හලාවත සාන්තා මරියා විද්‍යාලය – 41 (29.5): ජෝර්ජ් ප්‍රනාන්දු 12, සුහද ප්‍රනාන්දු 7/09 & 80 (F/O) (38.2): ජෝර්ජ් ප්‍රනාන්දු 33, රවීන් චේතන 5/03, සුහද ප්‍රනාන්දු 3/27.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 75ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<