රණ ශූරයින්ගේ සටනේ වැඩි ගෞරවය දේවපතිරාජයට

රණ ශූරයින්ගේ සටන 2023s

165

අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර දෙවැනි වරට පැවැත්වුණු රණ ශූරයින්ගේ වාර්ෂික ක්‍රිකට් සටන අද (13) අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා. එහි පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගත්තේ දේවපතිරාජ විද්‍යාලයයි.

තරගයට ක්‍රීඩා කණ්ඩායම්:

  • දේවපතිරාජ විද්‍යාලය – ජීවක ශෂීන් (නායක), අරෝෂ සිතුමිණ, චමින්ද සඳරුවන්, දර්ශක සන්දීප්, ගිම්හාන් රසාංජන, ඉරුෂික තිමිර, පැතුම් ශමින්ද, පවන් සංදේශ්, සඳරු තීක්ෂණ, පුල්ජිත් වත්සුක, තරිඳු රුක්ෂාන්.
  • පී. ද. එස්. කුලරත්න විද්‍යාලය – හිරුෂ දෙව්මික (නායක), අකිල චතුරංග, අසින්ත රශ්මික, ධනුෂ්ක මදුසංක, ලශීන් වනිඳු, මහීෂ් ප්‍රභාෂණ, මතීෂ දුලංජන, රවිශාන් නෙත්සර, සසිඳු කෞශාන්, සවිඳු ආකාශ්, සකිල හංසක.

කාසියේ වාසිය දිනා ගත් පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ නායක හිරුෂ දෙව්මික පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ නමුත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 127කට සීමා කරන්නට, චමින්ද සඳරුවන් ඇතුළු දේවපතිරාජ කණ්ඩායම සමත් වුනා.

එහි දී සුපිරි පන්දුකරණයක නිරත වුනු දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක සඳරුවන් ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව පුල්ජිත් වත්සුක සහ පැතුම් ශමින්ද කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

දක්ෂ පන්දුකරණ දස්කමට අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ දේවපතිරාජ කණ්ඩායම ලකුණු 217ක් ලබාගෙන ලකුණු 90ක පැහැදිලි පළමු ඉනිමේ වාසියක් ලබා ගත්තා. එහි දී ආරම්භක පිතිකරු දර්ශක සංදීප් පන්දු 63ක් තුල ලකුණු 61ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. ඊට අමතරව නායක ජීවක ශෂීන් සහ පවන් සංදේශ්‍ ලකුණු 30කට වැඩියෙන් ලබාගෙන දේවපතිරාජ පළමු ඉනිම සවිමත් කළා.

දේවපතිරාජ පළමු ඉනිමට එරෙහිව පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය වෙනුවෙන් සවිඳු ආකාශ් සහ රවිශාන් නෙත්සර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක ශතක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ස්ථාවර කළා.

පන්දු 72ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 4ක් එල්ල කළ ආකාශ් ලකුණු 40කට දැවී යාමත් සමඟම එම සබඳතාවය අවසන් වුනා. පන්දු 65ක් තුල ලකුණු 32ක් ලබාගත් නෙත්සරගේ කඩුල්ල දවා ගත්තේ පුල්ජිත් වතුස්කයි.

අනතුරුව ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 53ක් තුල දවා ගත් ඉරුෂික තිමිර ඇතුළු දේවපතිරාජ ක්‍රීඩකයින් පී. ද. එස්. කුලරත්න දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා කළේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 93ක ඉලක්කයක් හිමිකර ගනිමිනි.

නමුත් ඒ සඳහා නිසි කාලයක් ඉතිරිව නොතිබීම නිසා දෙවැනි වරට පැවති රණ ශූරයින්ගේ සටන නැවත වරක් ජය පරාජයෙන් තොරව අවසන් වුනේ දේවපතිරාජ විද්‍යාලයට තරගයේ වැඩි ගෞරවය හිමිකර දෙමින්.

පී. ද. එස්. කුලරත්න විද්‍යාලය – 127 (29.1): හිරුෂ දෙව්මික 35, ලශීන් වනිඳු 32, චමින්ද සඳරුවන් 4/09, පුල්ජිත් වත්සුක 3/28, පැතුම් ශමින්ද 3/34 & 182 (38.1): රවිශාන් නෙත්සර 65, සවිඳු අකාෂ් 40, ඉරුෂික තිමිර 4/43

දේවපතිරාජ විද්‍යාලය – 217 (41.1): දර්ශක සංදීප් 63, ජීවක ශෂීන් 35, පවන් සංදේශ් 33, ලශීන් වනිඳු 2/41, ශකිල හංසක 2/61 & 12/2 (2)

  • තරගයේ වීරයා – දර්ශක සංදීප් (දේවපතිරාජ විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරුවා – රවිශාන් නෙත්සර (පී. ද. එස්. කුලරත්න විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – චමින්ද සඳරුවන් (දේවපතිරාජ විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – හිරුෂ දෙව්මික (පී. ද. එස්. කුලරත්න විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<