නේමාර්ගේ පිහිටෙන් බ්‍රසීලය ඉදිරියට යද්දී ජපන් හපනුන්ට ජයග්‍රහණය මග හැරේ

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1097

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තෙවන දිනය ඊයේ (2) ක්‍රියාත්මක වූ අතර දිනයේ පළමු තරගයේ දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායමත්, ලෝක ශූරයින් පරාජය කළ පෙරළිකාර මෙක්සිකෝ කණ්ඩායමත් තරග වැදුණි.

ගෝල රකින්නෝ ස්පාඤ්ඤය හා ඩෙන්මාර්කය ගෙදර යවති

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දෙවන දිනය වූ ඊයේ (01) පළමු….

ගෝල 2-0ක් ලෙස පෙරළිකාර මෙක්සිකෝව නැවත හරවා යැවූ බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූ අතර 2-0ක පසුබැසීමක් 3-2ක විශිෂ්ට අවසානයක් බවට පත් කරමින් ජපන් කණ්ඩායම පරාජය කරන්නට ප්‍රබල බෙල්ජියම දෙවන තරගයේ දී සමත් විය.

බෙල්ජියමෙන් විශ්මයජනක නැවත පැමිණීමක්

දිනයේ දෙවන තරගය ලෙස ප්‍රබල බෙල්ජියමත්, පෙරළිකාර ජපානයත් Rostov-On-Don හි Rostov ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර විශිෂ්ට තරගයක් අවසානයේ ගෝල 0-2 සිට ගෝල 3-2ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට බෙල්ජියම සමත් විය.

තරගයේ පළමු ගෝල දෙක රැස්කර ගනිමින් 2-0ක් ලෙස බෙල්ජියම් කණ්ඩායමට නොසිතූ විරූ අභියෝගයක් එල්ල කරන්නට ජපන් ක්‍රීඩකයෝ සමත් වූයේ තරගයේ පෙරමුණ ගනිමිනි. 68 වන මිනිත්තුව දක්වා පෙරමුණේ සිටි ජපන් ක්‍රීඩකයන්ගේ උත්සාහය අපතේ යවමිනි බෙල්ජියම් කණ්ඩායම තරගයට අවතීර්ණ වූ අතර අවසන් මිනිත්තුවේ දී ගෝල 2-3ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට ඔවුන් සමත් වූයේ ජපන් ක්‍රීඩකයින්ට නොසිතූ පරාජයක් අත්කර දෙමින්ය.  

පළමු අර්ධය පුරා ඉතා අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ ජපන් ආරක්ෂක වළල්ල බෙල්ජියමට ගෝල රැස්කර ගැනීමට තිබූ අවස්ථා රාශියක් ව්‍යර්ථ කිරීමට සමත් විය. විශේෂයෙන්ම පළමු අර්ධය පුරා ජපන් ගෝල රකින්නා, Kawashima බෙල්ජියම් බලාපොරොත්තු සුන් කළේ වරක් දෙවරක් නොවේ.

පළමු අර්ධය: ජපානය 00 – 00 බෙල්ජියම

දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම ගෝල සැණකෙළියක් වූ අතර බෙල්ජියම් කණ්ඩායම පසු පාදයට ඇද දමමින් පළමු ජපන් ගෝලය වාර්තා වූයේ 48 වන මිනිත්තුවේ දීය.

ජපන් මැදපෙළ ක්‍රීඩකයෙකු යොමු කළ දීර්ඝ පන්දු යොමු කිරීමක් බෙල්ජියමේ Jan Vertonghen පසුකරමින් බෙල්ජියම් ආරක්ෂක වළල්ල විනිවිද ගිය අතර පන්දුව පසුපස හඹා ආ HARAGUCHI අලංකාර ලෙස ගෝල රකින්නා පසුකරමින් පන්දුව දැල වෙත යොමු කළේ ජපානයට නොසිතූ ඉදිරියක් ලබා දෙමිනි.

තරග 22ක් අපරාජිතව සිටින බෙල්ජියම් ක්‍රීඩකයින්ට අධිෂ්ඨානශීලී ජපන් ක්‍රීඩකයෝ 52 වන මිනිත්තුවේ දී දෙවන මරු පහරත් එල්ල කිරීමට සමත් වූයේ තරගයේ ජය පිළිබඳ බලාපොරොත්තු රැසක් ප්‍රේක්ෂකයින්ගේ සිත්වලට එකතු කරමිනි.

Takeshi Inui විසින් දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිට කල් යල් බලා දක්ෂ ලෙස එල්ල කළ ප්‍රහාරයක් ගෝල රාමුවේ දකුණු පස කෙළවරින් දැල තුලට ගියේ ජපන් ප්‍රේක්ෂකයින්ගේ අමන්දානන්දයට හේතු වෙමින්ය.

Inui ජපන් බලාපොරොත්තු ඉතා ඉහළ මට්ටමට ගෙන ඒමට සමත් විය

මෙවර ලෝක කුසලානයේ පළමු වතාවට බෙල්ජියම් ‘රතු යක්ෂයෝ ‘ මහත් පීඩනයකට ලක් වූ අතර 69 වන මිනිත්තුවේ දී වාසනාවන්ත ගෝලයක් ඔවුන්ට හිමි වූයේ ඔවුන්ගේ ඉවසීම හා උත්සාහය නිසාමය.

බෙල්ජියම් ක්‍රීඩකයින් ප්‍රහාරයක් සඳහා උත්සහ කිරීමෙන් පසු නැවත ඉහළින් පැමිණි පන්දුව දක්ෂ ලෙස සිය හිසෙන් ගෝල රකින්නාට ඉහළින් පා කර හැරීමට Jan Vertonghen සමත් වූයේ බෙල්ජියම් කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.

Kawashima හිසට උඩින් පන්දුව ඇදුණේ ඔහුට පන්දුව රැක ගැනීමට අවස්ථාවක්වත් ලබා නොදෙමින්ය

අනතුරුව ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වූ Marouane Fellaini, Eden Hazardගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස සිය හිසෙන් දැල වෙත යොමු කළේ බෙල්ජියම වෙනුවෙන් ගෝල සමකරමිනි.

පළමු ගෝලයෙන් මිනිත්තු පහකට පසු දෙවන බෙල්ජියම් ගෝලයත් වාර්තා වූයේ ජපන් හදවත් මදකට නතර කර දමමිනි

කණ්ඩායම් දෙකම ජයග්‍රහණය සොයා ප්‍රබල තරගයකට අවතීර්ණ වූ අතර එක අවස්ථාවක දී Kawashima, බෙල්ජියමේ Nacer Chadli  හා Romelu Lukakuගේ ප්‍රහාරයන් දෙකක් පිට පිටම ව්‍යර්ථ කළේ ඉතා දක්ෂ ලෙසය.

අවසන් මිනිත්තුව තෙක් රැඳී තිබුණු ජපන් බලාපොරොත්තු 90+4 මිනිත්තුවේ දී සුන්වී ගියේ අලංකාර පන්දු යොමු කිරීමකින් CHADLI මනාව ප්‍රයෝජන ගෙන පන්දුව දැල වෙත යොමු කිරීමත් සමඟය.

1970 ලෝක කුසලානයෙන් පසු කණ්ඩායමක් ගෝල 2-0ක් ලෙස පසුපසින් සිටිමින් නැවත පැමිණ තරගයක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙය වූ අතර මෙවැනි අවස්ථා ලෝක කුසලාන ඉතිහාසයටම ඇත්තේ හයක් පමණි.

ඒ අනුව බෙල්ජියම් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණු අතර අවාසනාවන්ත ලෙස ජපන් ක්‍රීඩකයින්ට නැවත තමන්ගේ රට බලා යාමට සිදුවනු ඇත.

අවසාන ලකුණු තත්වය: බෙල්ජියම 03 – 02 ජපානය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • බෙල්ජියම – VERTONGHEN 69′, FELLAINI 74′ , CHADLI 90’+4′
  • ජපානය -HARAGUCHI 48′ ,INUI 52′

සුපිරි ක්‍රීඩක NEYMAR බ්‍රසීලය අවසන් පූර්ව වටයට කැන්දාගෙන යයි

සමාරා හි සමාරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු අර්ධය පුරා කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට සමත් නොවූ නමුත් නොසිතූ ලෙස මෙක්සිකෝව ප්‍රබල බ්‍රසීලයට තියුණු තරගයක් ලබා දුන්නේ ඔවුන්ගේ උත්සාහයන් 11ක්ම ව්‍යර්ථ කරමිනි.

Willian තරගය පුරා බ්‍රසීලයට අවස්ථා රැසක් නිර්මාණය කර දීමට සමත් විය

පන්දුව ළඟ තබා ගැනීමේ දී කණ්ඩායම් දෙකම එක හා දක්ෂතා පෙන්වූ අතර පන්දුව ළඟ තබා ගැනීම දැක්වුණේ 50%ට 50%ක් ලෙසය.

පළමු අර්ධය: මෙක්සිකෝව 00 – 00 බ්‍රසීලය

දෙවන අර්ධය ආරම්භයේම බ්‍රසීල ක්‍රීඩකයින් 51 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කළේ මෙක්සිකෝ ආරක්ෂක වළල්ල පළමු වතාවට සම්පූර්ණයෙන්ම බිඳ දමමිනි.

Willian විශිෂ්ට ධාවනයකින් අනතුරුව පන්දුව Neymar වෙත යොමු කළ අතර දඬුවම් පහර චතුරශ්‍රයේ ලිස්සා ගිය ඔහු දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුලින් දැල තුලට යොමු කිරීමට සමත් විය.

Willianගේ දක්ෂ පන්දු යොමු කිරීම බ්‍රසීලයට සිය පළමු ගෝලය හිමිකර දීමට සමත් විය

ඒ සමඟින් බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලි වල ගෝල 227ක් සම්පූර්ණ කර ගත් අතර ජර්මනිය පසුකරමින් ලෝක කුසලාන තරගවල වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම ලෙස ඉතිහාසගත වන්නට ඔවුන් සමත් විය.

අනතුරුව කෙතරම් උත්සහ කළත් මෙක්සිකෝවට බ්‍රසීල ආරක්ෂක වළල්ල විනිවිද යාමට නොහැකි වූ අතර 88 වන මිනිත්තුවේ දී විශිෂ්ට ධාවනයක යෙදුණු Neymar මෙක්සිකෝ ගෝල රකින්නා මගහරිමින් පන්දුව FIRMINO වෙත යොමු කළ අතර ඔහු ඉදිරියේම තිබූ ගෝල රාමුව තුලට පන්දුව යොමු කරන්නට ඔහුට එතරම් අපහසු වූයේ නැත.

Neymar ගෝලයක් හා එක් සහය දීමක් සමගින් බ්‍රසීලය ජය මාවතට ගෙන ඒමට සමත් විය

ඒ අනුව බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර මෙක්සිකෝවට ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය අත්හැර දමන්නට සිදු විය.

අවසාන ලකුණු තත්වය: මෙක්සිකෝව 00 – 02 බ්‍රසීලය

ගෝල රැස්කර ගත් ක්‍රීඩකයෝ

  • බ්‍රසීලය – NEYMAR JR 51′, FIRMINO 88′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<