129කට මාරු කැඳවූ ඉන්දුනීසියා පාපන්දු තරගය

915

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක පැවති තරගයක් අතරවාරයේ සිදු වූ නොසන්සුන්තාවයකින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට බලධාරීන් පවසා තිබෙනවා.

කඳුළු ගෑස් භාවිතයෙන් තත්ත්වය සමනය කිරීමට ද පොලිසිය උත්සහ දරා තිබුණා. මෙය ඉන්දුනීසියාවේ Malangm නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක දී සිදු වූ අතර එය ලොව ක්‍රීඩාංගණයක සිදු වූ භයානකම අනතුරක් ලෙස සැලකෙනවා.

Persebaya Surabaya කණ්ඩායමට එරෙහිව ගෝල 3-2ක් ලෙස තරගය පරාජය වීමෙන් අනතුරුව Arema FC ප්‍රේක්ෂකයන් මෙලෙස Kanjuruhan පාපන්දු ක්‍රීඩාංගණයට කඩා වැදී තිබෙනවා.

සිද්ධිය ‘කෝළහලයක්’ ගණයට වැටෙන නොසන්සුතාවක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කර ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමෙන් පසු රසිකයන්ට නැවත ප්‍රේක්ෂකාගාරයට යන ලෙස දැනුම් දෙන අතරතුර කඳුළු ගෑස් භාවිතා කළ බව ඔවුන් පවසා සිටියා.

වින්දිතයන් බොහෝ දෙනෙකු පාගා දමා හෝ ගෙල සිර කර මරා දමා ඇති බව පොලිසිය සඳහන් කරා. නැගෙනහිර Java පොලිස් ප්‍රධානී Nico Afinta පැවසුවේ පිටවීමේ දොරටුවලට දිවයාමෙදී බොහෝ දෙනෙකු තෙරපීමට ලක්වීමෙන් මිය ගොස් ඇති බවයි.

ආරම්භයේ දී 127 දෙනෙකු මරුමුවට පත්වූ බව ඔවුන් ප්‍රකාශ කළ අතර පසුව එය 129ක් දක්වා ඉහළ ගියා. රෝහල් අධ්‍යක්ෂකවරයෙක් පැවසූ අන්දමට මිය ගිය අයගෙන් එක අයෙක් 5 හැවිරිදි දරුවෙකු වීම විශේෂත්වයක්.

සිද්ධිය අවස්ථාවේ ගත් ඡායාරූපවලට අනුව ක්‍රීඩාංගණය කඳුළු ගෑස්වලින් වැසී ගිය ආකාරයත් දක්නට ලැබුණු අතර තුවාල ලැබූවන් පිටතට රැගෙන යන ආකාරය ද ඡායාරූපවලින් පෙනී ගියා.

ක්‍රීඩාංගණය තුල 42,000ක පිරිසක් රැඳවිය හැකි අතර එම තරගයේ සියලුම ප්‍රවේශපත් අලෙවී වූ බවත්, 3000කට ආසන්න පිරිසක් ක්‍රීඩාංගණය තුලට කඩා වැදුණු බවත් පොලිසිය සඳහන් කළා.

ප්‍රේක්ෂකයන් සියලු දෙනාම නොසන්සුන්තාවයට සම්බන්ධ නොවූ බවත්, එය 3000ක පිරිසකගේ ක්‍රියාවක් බවත් පොලිසිය සඳහන් කළා. සිද්ධිය අතරතුර ට්‍රක් රථ ඇතුළු පොලිස් රථ වාහන 13කට අලාභ හානි ද සිදු කර තිබුණා.

ඉන්දුනීසියා රජය සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටි අතර කඩිනමින් විමර්ශනයක් සිදු කරන බවට ද ඔවුන් පවසා සිටියා.

මෙම සිදුවීම ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාවට සිදු කරන ලද “තුවාලයක්” බව එරට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය Zainudin Amali පවසා සිටියා.

Arema FC සහ Persebaya Surabaya දිගු කාලීනව ප්‍රතිවාදීන් වන අතර මෙවැනි එදිරිවාදිකම් මාරාන්තික ගැටුම් බවට පත්වීම ඉන්දුනීසියාවේ කල් පවතින ගැටලුවක් වීම ද විශේෂත්වයක්.

මීට පෙර Persebaya Surabaya කණ්ඩායමට තරගය නැරඹීමට ප්‍රවේශපත් මිල දී ගැනීමට අවසර නොදුන් අතර ඉන්දුනීසියාවේ දේශපාලන, නීති සහ ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය Mahmud MD පැවසුවේ තරග බලධාරීන් නිර්දේශ කළ පරිදි තරගය පස්වරුවේ වෙනුවට සවස් යාමයේ පැවැත්වීමට සංවිධායකයන් අපොහොසත් වී ඇති බවයි.

ඔහු පැවසුවේ රජය විසින් අනුමැතිය ලබා දී තිබුණේ ප්‍රවේශ පත් 38,000කට වුවද ඔවුන් ප්‍රවේශ පත් 42,000ක් මුද්‍රණය කර ඇති බවයි.

මේ අතර ඉන්දුනීසියා පාපන්දු සංගමය (PSSI) එරට ඉහළතම ලීගය වන BRI Liga 1 හි තරග සතියකට අත්හිටුවා තිබෙනවා. මෙම තරග වාරය සඳහා Arema FC කණ්ඩායමට තරගවලට සත්කාරකත්වය ලබා දීම තහනම් කර ඇති අතර නොසන්සුන්තාව පිළිබඳ විමර්ශනය කිරීමට නිලධාරීන් කණ්ඩායමක් Malang වෙත යවන බව ද වාර්තා වනවා.

මීට පෙර 1989 වර්ෂයේ දී එංගලන්තයේ Hillsborough ක්‍රීඩාංගණයේ Liverpool රසිකයන් 97 දෙනෙකුට මරු කැඳවමින් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර 2012 වසරේ දී ඊජිප්තුවේ Port Said ක්‍රීඩාංණයේ දී 74 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් මෙවැනි නොසන්සුන්තාවයක් ඇති වුනා.

1964 දී 320 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ 1000කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් Lima’s National Stadium හීදී පේරු සහ ආජන්ටිනාව අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක දී තවත් නොසන්සුන්තාවයක් ඇති වුනා.

Times of India ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<