ගාලු ආදරවන්තයන් සටනට එක් වෙයි

70
119th Battle of the Lovers

දකුණු ලක සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 119 වැනි වරටත් පැවැත්වෙන් “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 15 සහ 16 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

1995 වසරේ දී සිට පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරගෙන සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් මෙතෙක් තරග 24ක් ජයග්‍රහණය කර තිබෙනවා.

මහින්ද විද්‍යාලය තරග අවස්ථා 23ක දී ජයග්‍රහණය කර ඇති අතර තරග 66ක් නොවිසඳුණ තරග ලෙසත් සහ 1910, 1911, 1912, 1942, 2020 සහ 2021 වසර 6 දී විවිධ හේතූන් මත තරග පවත්වා නැහැ.

තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වි සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් 2019 වසරේ දී ජයග්‍රහණය කරමින් ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් කන්දේ රඳවා ගෙන තිබෙනවා.

මෙවර රිචම්න්ඩ් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙසින් ද කටයුතු කරන මල්ෂ තරුපති වෙත හිමි ව තිබෙනවා. මහින්ද විද්‍යාලයීය නායකයා වන්නේ මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් පෙරමුණ ගත් දිනුර කළුපහන යි.

රිච්මන්ඩ් විද්‍යාලය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමට මෑත කාලීන ව වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි කර ඇති රිච්මන්ඩ් විද්‍යාලයීය නාමය මේ වෙද්දී ක්‍රිකට් පිටියේ කොතැනකත් කියවෙන නාමයක් බවට පත් ව තිබෙනවා.

වර්තමාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල උප නායක චරිත් අසලංක මෙන් ම කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන් ද රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෑත කාලීන ව ජාතික ක්‍රිකට් පිටියට දායාද වූවෝයි.

ඊට අමතර ව ශ්‍ර ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරන සහ කළ රිච්මන්ඩ්වරුන් ද රාශියක් සිටිනවා. චම්පක රාමනායක, චමිල ගමගේ, ධම්මික සුදර්ශන සහ උමේෂ් විජේසිරිවර්ධන ඒ අතර සිටිනවා.

එමෙන් ම මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරන ඉරෝෂ් සමරසූරිය, පබසර වඩුගේ, ඒ. කේ. ටිරෝන්, සිතාර ගිම්හාන්, තවීෂ අභිශේක්, තරිඳු නිර්මාල් වැන්නෝ ද ආඩම්බරකාර රිච්මන්ඩ්වරුන් අතර සිටිනවා.

ඔවුන්ට අමතර ව පසුගිය කාලයේ ක්‍රිකට් පිටියට සමුදුන් සුරංග ලක්මාල් ද රිච්මන්ඩ් ඉතිහාසයට එක් වෙන්නේ එම විද්‍යාලයෙන් බිහිකළ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසයි.

ඒ ආඩම්බරයත් සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කළ රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරග වාරයේ අපරාජිතව සිටින කණ්ඩායම් අතරට එක් වුනා.

ඔවුන් මේ වෙද්දී එම තරගාවලියේ තරග 8කට මුහුණ දී සිටින අතර ඒ අතුරින් කුරුණෑගල මලියදේව විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලවලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා සිටිනවා. අනෙක් තරග විසඳුමකින් තොරව අවසන් වූව ද වැඩි වාසි ඔවුන් විසින් අත් කර ගැනීමට සමත් ව සිටීම විශේෂයි.

නායක, මල්ෂ තරුපති පසුගිය කාලයේ ජාතික යොවුන් කණ්ඩායම හා එක් ව සිටි බැවින් මෙවර රිච්ම්න්ඩ් කණ්ඩායම හා එක් ව සිටියේ තරග කිහිපයකට පමණයි. එහි දී ලකුණු 200ක් ඉක්මවා ලබා ගැනීමට සහ කඩුලු 25කට වඩා දවා ගැනීමට ඔහුට හැකි වෙනවා.

ඒ අවසරයෙන් ඔහුගේ සහායකයා වන ෂෙරෝන් අභිශේක්, රිච්මන්ඩ් කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පන්දු යවන්නා බවට පත් වෙනවා. ඔහු මෙම පාසල් තරග වාරයේ දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 60 ඉක්මවනවා.

පිතිකරුවන් අතුරින් කැපී පෙණෙන රිච්මන්ඩ්වරුන් වන්නේ තමිඳු ප්‍රදීප්ත සහ චෙහාන් සුබසිංහ. ඔවුන් දෙදෙනා ලකුණු 500 සීමාව ඉක්මවා ලබා තිබෙන අතර, ඔවුන් දෙදෙනාගෙන් තමිඳු ප්‍රදීප්ත ගේ ඉනිම් අතරට ශතකලාභී ඉනිමක් ද ඇතුලත්.

ඊට අමතර ව රිච්මන්ඩ් කණ්ඩායමේ අනෙක් ශතකලාභියා වන්නේ ශෙහාන් ද සොයිසා. ඔහුත් සමඟින් සෙනෙත් සිසාන් සහ නිකිල් ජයවර්ධන ද නිමා වූ තරග වසරේ දී ලකුණු 350කට වැඩියෙන් ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් රිච්මන්ඩ් කණ්ඩායමට දායකත්වය දැක් වූවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වෙමින් දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් තාරගාවලිය අතර මඟ දී එක් වූ යූරි කොත්තිගොඩ රිච්මන්ඩ් කණ්ඩායමේ සිටින බලාපොරොත්තු සහගත පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්වෙනවා. ජාතික කණ්ඩායම හා එක් වීම හේතුවෙන් පාසල් තරග කිහිපයක් මඟ හරවා ගත්ත ද ඔහුගේ දායකත්වය මෙම තරගයේ දී රිච්මන්ඩ්වරුන්ට අමතර වාසියක උදා කරනවා.

ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරන නායක මල්ෂ තරුපති සහ උප නායක ෂෙරෝන් අභිශේක් හා යූරි කොත්තිගොඩ ගේ එක් වීම මහින්ද පිතිකරුවන් දැඩි පීඩනයකට පත් කරවන්නක් වේවි.

කෙසේ වෙතත් ඉහත පන්දු යවන්නන්ට අමතර ව කවීෂ ඉඳුවර, සිනෙත් රාමනායක සහ මලිත් සිල්වා ද රිච්මන්ඩ් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන ප්‍රධානීන් ලෙසින් හැඳින් විය හැකියි.

Battle of the Lovers

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මල්ෂ තරුපති (නායක), ෂෙරෝන් අභිශේක් (උප නායක), තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, නෙත්සර ආකේශ්, පුනල් හංසජිත්, චමෝද් පුන්සර, සචිඳු නිම්සර, තෙනුෂ නිම්සර, නිකිල් ජයවීර, පුබුදු මිහිරංග, රසාංග තෙනුජ, මලිත් ද සිල්වා, සෙනෙත් සිසාන්, යූරි කෝත්තිගොඩ, සිනෙත් රාමනායක, බෙවින් ජයවර්ධන, කවීෂ ඉඳුවර, ශෙහාන් ද සොයිසා, මිනග ආරියදාස.

පී. එස්. පුෂ්පකුමාර (විදුහල්පති), පී. ඒ. ධර්මරත්න (සහකාර විදුහල්පති), නුවන් ජයසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), සිදත් ප්‍රියංකර (සහාය පුහුණුකරු), ලහිරු මධුවන්ත (සහාය පුහුණුකරු).

මහින්ද විද්‍යාලය

අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග, ඩී. එල්. එස්. ද සිල්වා, ස්ටැන්ලි සිල්වා, උපුල් සුමතිපාල, ගජබා පිටිගල, ඒ. ජේ. සමරසේකර, දිලීප වික්‍රමසිංහ, දුමින්ද වික්‍රමසිංහ, රොමේෂ් බුද්ධික, දෙනුවන් රාජකරුණා, කෞෂල්‍ය ගජසිංහ, තීක්ෂිල ද සිල්වා, නිසල තාරක සහ නවෝද් පරණවිතාන වැන්නන්ගේ ක්‍රිකට් තිඹිරිගෙය වන්නේ මහින්ද විද්‍යාලයයි.

ඔවුන් අතර ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරළිකාරයන් සේ ම ක්‍රිකට් පරිපාලකයන් ද සිටිනවා.

එම අභිමානයත් සමඟින් මහින්ද විද්‍යාලය මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ Tier B කාණ්ඩයෙන්.

එම තරගාවලියේ තරග 13කට සහභාගී වී ඇති ඔවුන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය වෙතින් පූර්ණ පරාජයන් වාර්තා කරන ඔවුන් සෙසු තරග විසඳුමකින් තොරව නිමා කිරීමට සමත් වෙනවා.

මේ තරග අතුරින් කණ්ඩායමේ නායක දිනුර කළුපහන, ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක දිගට තරගාවලි කිහිපයක් ම නියෝජනය කළ බැවින් සහභාගී වෙන්නේ තරග 5කට පමණයි.  එම තරගවල දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 250ක් ඉක්මවා ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

කණ්ඩායමේ වඩාත් වැඩිම අවධානය ලක් වූ පිතිකරු බවට පත් වෙන්නේ ප්‍රමේෂ් මදුභාෂණ. ඔහු අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 600කට ආසන්න සංඛ්‍යාවක් වෙත පැමිණෙමින් සිටිනවා. කණ්ඩායමේ උප නායක තරුෂ ඩිල්ශාන් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 500 ඉක්මවා ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

මහින්ද විද්‍යාලයීය පිතිකරු බලඇණියේ දෙනෙත් කෞෂල්‍ය, සෙනුක දංගමුව  සහ චන්දුප ද සිල්වා ලකුණු 300 සීමා ව ඉක්මවා ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන් කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටිනවා.

කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ කවීන් රුක්ෂාන්. ඔහු මෙවර තරග වාරයේ දී කඩුලු 64ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා. ඔහුගේ දක්ෂතා අතරට මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ඉනිම දෙකේ දී ම ලබා ගත් කඩුලු 17ක් ද තිබෙනවා.

ඔහුට අමතර ව පිත්තෙන් ද දක්ෂතා දැක් වූ සෙනුක දංගමුව කඩුලු 28ක් ද ලබා ගනිමින්  දක්ෂතා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඔප්පු කර පෙන්නනවා. අරෝෂ උදයංග ද කඩුලු 28ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

Big Match

මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: දිනුර කළුපහන (නායක), තරූෂ ඩිල්ශාන් (උප නායක), විනුප නෙත්මිර, දුලන රාජපක්ෂ, දෙනෙක් කෞෂල්‍ය, දිලීප ලියනගේ, අරෝෂ උදයංග, ප්‍රමේශ් මධුභාෂණ, කවීන් රුක්ශාන්, හරීන් අචින්ත, චන්දූප ද සිල්වා, සහන්ජිත් සමදිත, සෙනුක දංගමුව, සදෙව් නෙත්මිණ, විශ්මිත සත්සර, කවීෂ ගිම්සර, රන්දුල මාබරණ, දුල්සිත් දර්ශන, මානිත රාජපක්ෂ, දිනෙත් පැහැසර.

රුසිර මද්දුමහේවගේ (විදුහල්පති), ප්‍රසන්න වීරමන් (සහකාර විදුහල්පති / ක්‍රීඩා), එම්. ඩබ්ලිව්. අජිත් (ක්‍රීඩා භාර ආචාර්ය), වයි. නිශාන්ත කුමාර (ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), ජගත් සමරකෝන් (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), ධනුශ්ක දෙනගම (ප්‍රධාන පුහුණුකරු), පසන් කලංසූරිය (සහාය පුහුණුකරු).

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

119 වැනි ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන රිච්මන්ඩ් විද්‍යාලයීය සහ මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<