ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට වැස්සෙන් බාධා

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

161

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පුරා දින 3ක් මුළුල්ලේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 100 වැනි අදියරේ අවසන් දිනය වූ අද (10) දිනය නිමාවට පත්වුනේ වර්ෂාවෙන් එල්ල වූ දැඩි බාධා මධ්‍යයේයි. 

අද දිනය ආරම්භ කරමින් පැවති පිරිමි මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 30:48.75ක කාලයකින් අවසන් කළ ඩී. එස්. දිසානායක රන් පදක්කම සඳහා හිමිකම් කියද්දී, එස්. ඩී. ගුණසේකර (මිනිත්තු 30:56.99) සහ එන්. සඳරුවන් (මිනිත්තු 30:59.48) දෙවැන්නා සහ තෙවැන්නා ලෙස ඉසව්ව නිමාවට පත් කළා.

ඉන්පසුව ඇද හැලුණු කෙටි වර්ෂාවෙන් පසුව ආරම්භ වූ කාන්තා මීටර් 5000 ඉසව්වේ ජයග්‍රහණය දිනා ගන්නට නිලන්ති ලංකා ආරියදාස සමත් වුනේ මිනිත්තු 16:56.08ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. මෙවර තරගාවලියේ ඇය විසින් දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වීම විශේෂත්වයක්.

මිනිත්තු 17:25.99ක කාලයකින් ඉසව්ව අවසන් කළ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත් දෙවැනි ස්ථානය දිනා ගන්නා විට, මිනිත්තු 17:29.14ක කාලයකින් තරගය අවසන් කළ එන්. නිදර්ශනී තෙවැනි ස්ථානය දිනා ගත්තා.

එම ඉසව්ව අවසන් වීමෙන් පසුව ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව නිසාවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සෙසු තරග අතරින් පිරිමි සත්ප්‍රයාම හෙල්ල විසිකිරීම සහ කාන්තා දසප්‍රයාම මීටර් 800 ඉසව්ව පමණක් පවත්වා දිනය අවසන් කිරීමට තරගාවලි සංවිධායකයින් තීරණය කළා.

>> තරගාවලියේ පළමු සහ දෙවැනි දින තරග ප්‍රතිඵල<<

තරගාවලියේ පවත්වන්නට නොහැකි වූ අනෙකුත් ඉසව් අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය විසින් නිවේදනය කළා. තරගාවලියේ සියලු තොරතුරු මෙන්න මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<