Hameed Al Husseinie පරදා සහිරාවන් ශූරතාවයට

ජනාධිපති කුසලාන 18න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාවය

322

Hameed Al Husseinie ක්‍රීඩකයින් පරාජය කරමින් 2022 Renown ජනාධිපති කුසලාන වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට කොළඹ සහිරා ක්‍රීඩකයින් ඊයේ (07) සමත් වුනා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම අවසන් මහා තරගය සඳහා සහිරා ක්‍රීඩකයින් සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව වටයේ දී යාපනය මධ්‍ය මහා විද්‍යාලය ගෝල 8-2ක් ලෙස පරාජය කරමිනුයි. තියුණු සටනකට පසුව සාන්ත ජෝසප් විදුහල ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට Hameed Al Husseinie ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ආරම්භයේ පටන් සිය ආධිපත්‍ය පතුරවන්නට සහිරා ක්‍රීඩකයින් සමත් වූ අතර 7 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සහිරා ක්‍රීඩක A. Aaqil සමත් වුනා.

ඉන් අනතුරුව Hameed Al Husseinie ක්‍රීඩකයින්ට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර කණ්ඩායම් නායක Mohamed Hathifගේ උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කරන්නට සහිරා විද්‍යාලයීය ගෝල රකින්නා වන Mohamed Musthaq සමත් වුනා. ඉන් මිනිත්තුවකට පසුව සහිරා ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කරගන්නට Mohamed Shahil සමත් වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වන්නට පෙර Shahil විසින් 41 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරන්නට සමත් වූ අතර Aaqil විසින් සිය දෙවැනි ගෝලය ද වාර්තා කරමින් එම අර්ධය අවසන් වුනේ ගෝල 4-0ක් ලෙසයි.

පළමු අර්ධය: Zahira College 4 – 0 Hameed Al Husseinie

Hameed Al Husseinie ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී ක්‍රීඩක ආදේශ කිරීම් කිහිපයක් ම සිදු කරමින් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළත්, ඒ බලාපොරොත්තු සුනුවිසුනු කර දමන්නට Shahil සමත් වුනේ 49 වැනි මිනිත්තුවේ දී සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරගනිමිනුයි.

Hameed Al Husseinie ක්‍රීඩකයින්ට ගෝල වාර්තා කරන්නට අවස්ථා කිහිපයක් නිර්මාණය වුවත්, ඒවා සාර්ථකව වළක්වන්නට Musthaq සමත් වුනා. 17න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක Fareeq Ahamed විසින් 67 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟින් තරගය අවසන් වුනේ ගෝල 6-0ක් ලෙස සහිරා ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: Zahira College 6 – 0 Hameed Al Husseinie

සාන්ත ජෝසප් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාල අතර බැද්දේගාන පාපන්දු සංකීර්ණයේ දී පැවති තෙවැනි ස්ථානය සඳහා වන තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළ යාපනය ක්‍රීඩකයින් තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. එහි දී වාර්තා වූ ගෝල දෙකට හිමිකම් කීවේ  J. Harish (15 වැනි මිනිත්තුව) සහ R.A.L. Fernando (73 වැනි මිනිත්තුව) විසිනුයි.

• අවසන් තරගයේ වීරයා – Mohamed Shahil (සහිරා විද්‍යාලය)
• දක්ෂතම ගෝල රකින්නා – Mohamed Musthaq (සහිරා විද්‍යාලය)
• වැඩිම ගෝල ලාභියා – J. Harish (යාපනය මධ්‍ය මහා විද්‍යාලය)
• තරගාවලියේ වීරයා – J. Harish (යාපනය මධ්‍ය මහා විද්‍යාලය)

දේශීය විදේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<