ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල 2023

298

වසර තුනක දීර්ඝ විවේකයකින් පසු ජාතික ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

2019 වසරෙන් පසුව ඇති වූ කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු නිසා තරගාවලිය පැවැත්වීමට නොහැකි වූ අතර මෙවර තරගාවලියේ පැවැත්වෙන්නේ 47 වැනි වරටයි.

ඉසව් 27කින් සමන්විත මෙම තරගාවලියේ පළමු සමගාමී ඉසව්ව මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මැයි 12 සිට 14 දක්වා කාන්තා සහ පිරිමි පාපන්දු සහ කබඩි තරග පොලොන්නරුවේ දී පැවැත්වෙනවා.

මැයි 20 සිට ජුනි 06 දක්වා තරග ඉසව් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ කාලසීමාව තුළ බැඩ්මින්ටන්, කඹ ඇදීම, පැසිපන්දු, පිහිනුම් සහ කැරම් යන ඉසව් පැවැත්වීමට නියමිතයි.

මීගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන වෙරළ වොලිබෝල් සහ වෙරළ කබඩි ඉසව් පැවැත්වෙන්නේ මැයි 10 සහ 11 දිනවල දී. එම දිනවල බර ඉසිලීම තරග පැවැත්වෙන්නේ පොලොන්නරුව කේන්ද්‍ර කරගෙනයි.

චෙස්, කරාතේ දෝ, වූෂු සහ ජූඩෝ තරග ජුනි 16 සිට 25 දක්වා පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස සහ ටොරින්ටන් ක්‍රීඩාංගණවලයි. ජුනි 30 සිට ජූලි 2 දක්වා කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග ඇඹිලිපිටියේ දී පැවැත්වෙන අතර ජූලි 1 සහ 2 යන දෙදින තුළ දැල්පන්දු තරග දිගන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

බොක්සිං, එල්ලේ, රගර්, හොකී, ටයිකොන්ඩෝ, ජිම්නාස්ටික්, මල්ලවපොර සහ මේසපන්දු තරග ජූලි මාසය තුළ පැවැත්වෙන අතර කොළඹ සහ අනුරාධපුර නගර එම තරගවලට සත්කාරකත්වය සපයනවා.

අගෝස්තු 4 සිට 6 දක්වා කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින්  කාය වර්ධන සහ වොලිබෝල් තරග පැවැත්වීමට නියමිත අතර ඒ තරග සමඟ ක්‍රීඩා උළෙලේ සමගාමී ඉසව් නිමාවට පත් වෙනවා.

පසුව තරගාවලියේ අවසන් අදියර වන මලල ක්‍රීඩා තරග සහ 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ අගෝස්තු 4, 5 සහ 6 යන තෙදින තුළයි.

කලකට පසු ජාතික ක්‍රීඩා පිටිය උණුසුම් කරන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<