ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටය අරඹමින් ජනවාරි 31 වන දින මෝහන් බගාන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම සවිමත් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සංචිතයට ක්‍රීඩකයන් අටදෙනෙකු ඇතුළත් කොට ඇත.

සභාපති පුටුවට නාමයෝජනා හතරක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා..

ඊට අලුතෙන් එක්වන ක්‍රීඩකයින් වන්නේ චරිත රත්නායක, ඩිලාන් කෞෂල්‍ය, රුවන් අරුණසිරි, නසිරු ඔපායෙමි, ඊ.බී. චන්න, මොහොමඩ් ඉසඩීන්, චලන චමීර සහ මොහොමඩ් රිෆ්නාස් යන අයයි. කෙසේ වෙතත් මේ සියළු වෙනස්කම් අදාළ වන්නේ ඒ.එෆ්.සී. කුසලානයට පමණක් වේ.

කොළඹ ක්‍රීඩා සමාජය, ශක්තිමත් මෝහන් බගාන් කණ්ඩායමට මුහුණ දීම වෙනුවෙන් තම ආරක්ෂක අංශය ශක්තිමත් කිරීම වෙත දැඩි අවධානයක් යොමුකොට ඇත්තේ චරිත රත්නායක, නසිරු ඔපායෙමි සහ චලන චමීර ඊට ඇතුළත් කරගනිමිනි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ගෝල රකින්නා වන ගුවන් හමුදාවේ රුවන් අරුණසිරිද ඔවුන් වෙත එක්කොට ඇත.

මෝහන් බගාන් කණ්ඩායම හොඳ කණ්ඩායමක් නිසා අපි අපේ ආරක්ෂණය සහ උපක්‍රම ගැන වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මේ ක්‍රීඩකයන් තිදෙනා (චන්න, චරිත, ඔපායෙමි) අනිවාර්යෙන්ම අපේ ආරක්ෂණය නඟා සිටුවාවි කියන එකයි මගේ ඉලක්කය.” කොළඹ ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් රූමි මහතා පැවසීය.

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ චරිත රත්නායක, තම කණ්ඩායම ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට නොතේරීම හේතුවෙන් ක්‍රීඩා සමාජයක් නොමැතිව සිටි ක්‍රීඩකයෙකි. පසුගිය තරගවාරයේදී ඔහු මධ්‍ය ආරක්ෂකයෙකු ලෙස ක්‍රීඩා කළත්, මෙවර ඔහුට සුපුරුදු දකුණු ආරක්ෂක තනතුර හිමිවී ඇත.

සවිමත් ආරක්ෂකයෙකු වන, බ්ලූ ස්ටාර් කණ්ඩායමේ නසිරු ඔපායෙමි හට මධ්‍ය ආරක්ෂකයෙකු ලෙස සිටිමින් ආරක්ෂකයින් මෙහෙයවීම භාරව ඇත. නාවික හමුදාවේ චලන චමීර, වම් කොනේ ආරක්ෂක ක්‍රීඩකයා වේ.

ආරක්ෂකයින්ට අමතරව ඉදිරිපෙළ ක්‍රීඩා කිරීම සඳහා අත්දැකීම් බහුල ජාතික ක්‍රීඩකයන් වන ඊ.බී. චන්න සහ මොහොමඩ් ඉසඩීන් එක්වන අතර තරුණ ජවය එක්කරන්නේ ඩිලාන් කෞශල්‍ය සහ මොහොමඩ් රිෆ්නාස් ය.

වයස 30 ඉක්මවූවත් ඉසඩීන් සහ චන්න තවමත් ගුණාත්මකව ක්‍රීඩා කරනවා මෙන්ම ඉසඩීන් දිගටම ගෝලත් රැස්කරනවා. කොහොමින් හරි යුධ හමුදා කණ්ඩායමෙන් ඉසඩීන්ව මේ වනතෙක් නිදහස් කර නැහැ. එය ඉක්මණින් ලබා දේවි යැයි බලාපොරොත්තු වෙනවා. රිෆ්නාස් කියන්නේ අවස්ථාවන් නිර්මාණය කරමින් ගෝල රැස්කළ හැකි ක්‍රීඩකයෙක්.” රූමි උද්යෝගයෙන් පැවසුවේය.

ඩිලාන් කෞශල්‍ය, සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ අතර මේ තරගවාරයේදී ඔහුට කණ්ඩායමක ස්ථානයක් නොලැබුණත්, කොළඹ කණ්ඩායමට ඔහුගේ ඇතුළත් වීම ශක්තියක් වනු ඇත. රිනවුන් කණ්ඩායමේ මොහොමඩ් රිෆ්නාස්, තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකි. කොළඹ කණ්ඩායමේ අනෙක් ඉදිරිපෙළ ක්‍රීඩකයා වන සර්වාන් ජොහාර් ඔහුගේ පැරණි පාසල් මිතුරෙකු ද වේ.

චන්න සහ ඉසඩීන් තම සියළු දක්ෂතා ප්‍රදර්ශනය කළ යුතු වන අතර ඉන්දියාවේදී ද ක්‍රීඩා කළ චන්නගේ අත්දැකීම් කොළඹ පාපන්දු සමාජයට මනා පිටිවහලක් බවට පත්වෙයි.

මෝහන් බගාන් සහ කොළඹ පාපන්දු සමාජය අතර පැවැත්වෙන පූර්ව පිළිමලුන් පිටුදැකීමේ වටයේ පළමු තරගය ThePapare.com හරහා සජීවී ලෙස විකාශනය කිරීමට නියමිතයි.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට