16න් පහල රග්බි ක්‍රීඩකයෝ දස්කම් දක්වයි

1134
U16 Schools Rugby

අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ A කාණ්ඩයේ මයිලෝ කුසලාන කණ්ඩායමකට ක්‍රීඩකයන් 12 දෙනෙකු බැගින් සහභාගී වන රග්බි තරගාවලියේ පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට කිංග්ස්වුඩ්, ශා.පීතර, ත්‍රිත්ව සහ ශා.අන්තෝනි යන පාසල් සමත් විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ තරගාවලිය අද (28) අවසන් වෙයි. ඊයේ දිනය තුළ කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්විණි.

A කාණ්ඩයට ඇතුලත් වූ කණ්ඩායම් වූයේ කටුගස්තොට ශා. අන්තෝනි, C.W.W. කන්නන්ගර සහ කුරුණෑගල මලියදේව යන විද්‍යාලයි. මෙම කාණ්ඩය තුල අපරාජිතව පෙරමුණ ගන්නට ශා. අන්තෝනි විද්‍යාලය සමත් වූ අතර මලියදේව විද්‍යාලය සමග පැවති තරගය අවසන් මොහොතේ ලකුණු 5 – 0ක් ලෙස ජයගත් කන්නන්ගර ක්‍රීඩකයින් කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කර ගන්නට සමත් විය. විද්‍යාලයේ ප්‍රධාන කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශා.අන්තෝනි කණ්ඩායමට කිසිදු අභියෝගයක් ඊයේ දිනය තුල එල්ල වූයේ නැත.

B කාණ්ඩය යටතේ බම්බලපිටිය ශා.පීතර, කොළඹ තර්ස්ටන්, මහනුවර විද්‍යාර්ථ සහ මොරටු මහා විද්‍යාලය තරග වැදුනි. ශාන්ත පීතර ක්‍රීඩකයන් කිසිදු අභියෝගයකින් තොරව කාණ්ඩයේ පෙරමුණ ගත්තේ තමන් සහභාගී වූ තරග 3 ලකුණු 61-00 ක්, 26-00 ක් සහ 32-00 ක් ලෙස ජය ගනිමිනුයි. විද්‍යාර්ථ ක්‍රීඩකයින්, පීතරයින්ට පමණක් පරාජය වෙමින් කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් විය. තර්ස්ටන් විද්‍යාලය 3 වන ස්ථානය තහවුරු කර ගත්තේ මොරටු මහා විද්‍යාලය ලකුණු 26 – 00 ක් ලෙස පරාජය කරමිනුයි.

මහනුවර කිංග්ස්වුඩ්, කොළඹ D. S. සේනානායක, ආනන්ද සහ ලුම්බිණි විදුහල් නියෝජනය කළේ C කාණ්ඩයයි. බලාපොරොත්තුවූ පරිද්දෙන්ම කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීම එතරම් අපහසු කාර්යක් නොවීය. ඔවුන් පළමු තරග 2 ලකුණු 59 00 ක් සහ 29 00 ක් ලෙස ජය ගැනීමෙන් පසු ප්‍රධාන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් විවේක ගන්වමින් D. S. සේනානායක විද්‍යාලය සමග ක්‍රීඩා කල තරගයද ලකුණු 10 -00 ක් ලෙස ජයගන්නට සමත් විය. ආනන්ද විද්‍යාලය සමග කරට කර සටනක් දෙමින් කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත්තේ D.S. සේනානායක කණ්ඩායමයි, ආනන්ද විද්‍යාලයට 3 වන ස්ථානයත් ලුම්බිණි විද්‍යාලයට අවසන් ස්ථානයත් හිමි විය.

D කාණ්ඩය යටතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, පිළියන්දල මහා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය තරග වැදීමට නියමිතව තිබුණි. මාතලේ කණ්ඩායම අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වූ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් ඔවුන්ගේ තරග දෙකම ජයගෙන කාණ්ඩයේ පෙරමුණ ගන්නා ලදී. පානදුර රාජකීයයන්ට එරෙහිව ලකුණු 63ක් ද පිළියන්දල ම. වි. ට එරෙහිව ලකුණු 26ක්ද ලබා ගන්නට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් විය. පිළියන්දල මහා විද්‍යාල කණ්ඩායම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වුණේ පානදුර කණ්ඩායම ලකුණු 29 – 00ක් ලෙස පරදවමිනුයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට