හේරත්ගේ අඩුව පුරවන්න සැරසෙන ඊළඟ වමතා – රොහාන් සංජය

1870

ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ලෝකයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපි ඉන්නේ සිම්බාබ්වේටයි බංග්ලාදේශයට ටිකක් ඉස්සරහින්.

1982 අවුරුද්දේ ටෙස්ට් වරම් ලැබුණ දවසේ ඉඳන් ගෙවී ගිහිල්ලා තියෙන කාල සීමාව දිහා ආයිත් හැරිලා බැලුවොත් අපේ රටින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරලා තියෙන දේවල් මෙතකැයි කියලා කියන්න බැහැ. ඒ අතින් ගත්තම එක්දහස් අටයිස ගණන්වලටත් එහා ක්‍රිකට් ඉතිහාසයක් එහෙමත් නැත්නම් ක්‍රිකට් උපන් රට විදියට සැලකෙන එංගලන්තෙත් ඉන්නේ අපිට වඩා ගව් ගාණක් පිටිපස්සෙන් කිවුවත් වැරදි නෑ.

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා කරන එක. එහෙම කරගන්න බැරි වෙන ගොඩක් ක්‍රීඩකයින් කරන්නේ කරන්න තියෙන…

ලංකාවෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ දේවල් අතර වමතින් සහ දකුණතින් පන්දු යවමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් දෙදෙනා බිහි කිරීම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් එම පන්දු යවන්නන් යුගලයයි. මුරලිදරන් ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තට පස්සේ ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ගෙනාවේ රංගන හේරත්. මේ කතාව ඔබ කියවන විටත් රංගන හේරත් එයාගේ ජාත්‍යන්තර තරග දිවියට සමුදීලා ඉවර වුනත්, මුරලිගෙන් පසුව හිස්වූ අඩුව රංගන හේරත් අකුරටම පියෙව්වා කියලා ඔහුගේ දක්ෂතාවලින් ඔප්පු කරලා තියෙනවා.

ඒත් මෙහි දී මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ හේරත්ගේ සමුගැනීමත් එක්ක කවුද ඒ වගකීම භාර ගන්නේ  කියන එක. ඒකට අපිට තාම හරි උත්තරයක් නැහැ. ටෙස්ට් තරගවල දී හේරත්ගේ සහායක පන්දු යවන්නා විදියට දීර්ඝ කාලයක් කටයුතු කළේ ඩිල්රුවන් (පෙරේරා). ඔහු තව ටික කාලයක් ඒ බර කරට අරගෙන කරයි. ඒත් වයස අතින් ගත්තහම ඔහුටත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න පුළුවන් තව වසර කීපයක් විතරයි. අනිත් එක තමයි ඩිල්රුවන් කියන්නේ දකුණත් පිට දඟපන්දු යවන්නෙක්. එහෙම එක්කෙනෙක්ට වමත් දඟපන්දු යවන්නෙකු වුණු හේරත්ගේ අඩුව පුරවන්න බැහැ. ඒ නිසා කණ්ඩායම සමබර වෙන්න, හේරත් වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න ඕනෙමයි.

අකිල ධනංජය වගේම ලක්ෂාන් සඳකැන් මේ වෙන කොට ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තු බවට පත්වන ලකුණු පහළ කරලා. ඒත් කවුරුවත් නොහිතපු විදියට අකිලගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට එංගලන්ත සංචාරයේ දී විනිසුරුවන් චෝදනා කිරීම නිසා පෙර පරිදිම සුපුරුදු දක්ෂතාවන්වලට පැමිණේවි කියන එක ගැන නම් පොඩි සැකයක් නැත්තෙමත් නෑ. ඒ කොහොම වුනත් අකිල සහ සඳකැන් ගත්තහම ඒ දෙන්නම හේරත්ට වැඩිය වෙනස්. මීට ටික කාලෙකට කලින් ටෙස්ට් වරම් දිනා ගත් මාලින්ද පුෂ්පකුමාරගේ පන්දු යැවීම නම් රංගන හේරත්ගේ පන්දු යැවීමට ටිකක් සමානයි. ඒත් දේශීය පිටියේ කොහොම වුනත් ජාත්‍යන්තර පිටියෙදි නම් ඔහුට දුන්න අවස්ථාවලින් හරියට ප්‍රයෝජන ගත්ත කියන එකත් සැකයක්. නිමා වුණු එංගලන්ත සංචාරයේ අවසන් තරග දෙකටම මාලින්ද පුෂ්පකුමාරව ක්‍රීඩා කළත් එතරම් කැපී පෙනෙන දෙයක් කිරීමට නොහැකි වීම ඉහත කරුණට හොඳම උදාහරණයක්.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන පුරාණය-1

ක්‍රිකට් තරග නරඹන ඕනෑම ක්‍රිකට්ලෝලියෙකු, ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් නරඹන ක්‍රිකට් තරගාවලි අතරින් “එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට” ප්‍රමුඛ ස්ථානයක්…

කොහොම වුනත් හේරත් වගේ වමතින් පා දඟපන්දු යවන පුංචි කොල්ලෙක් අපේ අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ නම් ඉන්නවා. ඒ තමයි රොහාන් සංජය. පසුගිය දා ශ්‍රී ලංකාවට ආපු බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරග දෙකේ දී බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කෙරුව රොහාන් එහි දී කඩුලු 15ක් දවා ගන්න සමත් වුනා. මේ තරග දෙකේ දී ම රොහාන්ගේ අනිත් පැත්තට දඟ කැවෙන පන්දුවට බංග්ලාදේශ පිතිකරුවන් අන්දමන්ද වුණු ආකාරය නම් අද්විතීයයි. හේරත් කඩුලු ලබා ගන්නේ ඔහු සතුව තියෙන පුදුමාකාර ඉවසීමේ ශක්තියත් එක්ක. ඒ ඉවසීමත් එක්ක නියමිත ස්ථානයේ පන්දුව පතිත කරමින් හේරත් කඩුලු ගන්නවා වගේම රොහානුත් එක තැනකට පන්දුව යොමු කරමින් බොහොම ඉවසිලිවන්ත විදියට පන්දු යවන හැටි අපි ඒ තරගාවලියෙදි දැක්කා.

කවුද මේ රොහාන් සංජය…? අපි ඔහු ගැන තොරතුරු හොයා බලන්න හිතුවේ ඔහුගේ දක්ෂතා දැක්කට පස්සේ. එතකොට තමයි අපිට ආරංචි වුනේ 19න් පහළ කණ්ඩායමේ කොල්ලොත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා දක්ෂතා දැක්වුවත්, රොහාන්ගේ වයස තාමත් අවුරුදු 17යි කියලා. රොහාන්ගේ පාසල කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය. තිස්ස මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වන්නෙත් රොහාන්ම තමයි කියලා තමයි රොහාන්ගේ පාසලේ පුහුණුකරුවා විදියට කටයුතු කරන රිෂාන් සජිත් සිල්වා මහත්මයා කියන්නේ. රොහාන් ගැන රිෂාන් අපිත් එක්ක කිව්වේ මෙන්න මේ වගේ දෙයක්.

”මං රොහාන්ව දැක්කේ එයා අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරන කාලෙදි. මං ඒ කාලෙම එයාගේ ලොකු දක්ෂතාවයක් දැක්කා. ඒ හින්දා අවුරුදු 13 දී ම රොහාන්ට අවුරුදු 19න් පහළ කණ්ඩායමේ අවස්ථාව දෙන්න මං තීරණය කළා. රොහාන් පාසලේ මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්නේ අවුරුදු 13  ඉඳලා” කියලා රිෂාන් කියනවා.

ඇත්ත. රොහාන් මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා තියෙන්නේ 3 වසරේදි. රොහාන්ගේ තාත්තා තමයි මුලින්ම රොහාන්ව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරලා තියෙන්නේ. චූටි නිසා රොහාන්ට 3 වසරෙදි ක්‍රීඩා කරන්න අවස්ථාවක් නැති වුනත් 4 වසරෙ ඉඳන් 13න් පහළ බී ටීම් එකට ක්‍රීඩා කරන්න චාන්ස් එක ලැබිලා තියෙනවා. රොහාන් මුල් කාලෙ පිතිකරුවෙක් විදියට තමයි කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒත් රිෂාන් කියන විදියට නම් රොහාන්ගේ ක්‍රිකට් ජීවිතේ ලොකුම වෙනස වුනේ 13න් පහළ අන්තිම අවුරුද්ද ක්‍රීඩා කරද්දී කියලයි. වයස 13ක් වුනත් ඒ වෙනකොට පන්දු යවන්නෙක්ට තිබිය යුතු මුහුකුරා ගිය ගති රොහාන් දක්වපු නිසා ඔහුට පළමු පෙළ කණ්ඩායමේ ස්ථානය හිමි වෙලා තියෙන්නේ ඔහුට වඩා වැඩිමහල් ක්‍රීඩකයන් ගොඩක් කණ්ඩායමේ ඉඳිද්දීමයි.

මේ කොයි යන්නේ? නැත අප දන්නේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා (26) අවසන් වන්නේ ශ්‍රී ලංකාවට 3-0ක තරග පරාජයක් හිමිකර දෙමින්. එය ශ්‍රී ලංකාව සහ එංගලන්තය…

කළුතර තිස්ස විද්‍යාලය මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්නේ කළුතර විද්‍යාලයත් එක්ක. කළුතර විද්‍යාලය කියන්නේ හිටපු ආරම්භක පිතිකරු ටෙස්ට් නායක ටී. එම්. ඩිල්ෂාන්ගේ ඉස්කෝලෙ. කළුතර දිස්ත්‍රික්කයේ තියෙන පාසල් අතරින් වැඩිම ටෙස්ට් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් බිහි කරපු පාසලක් විදියට කළුතර විද්‍යාලය ජනප්‍රියයි. ‘මැංගුස් හටන’ නමින් හැඳින්වෙන එම තරගය ලංකාවේ පාසල් මහ ක්‍රිකට් තරග අතර ප්‍රධාන තරගයක් විදියටයි සැලකෙන්නේ. එවැනි තරගයකට අවුරුදු 13 දී ක්‍රීඩා කරනවා කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙකුට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නම් එම ක්‍රීඩකයාට අසාමාන්‍ය දක්ෂතාවයක් තියෙන්නත් ඕන. තම පුහුණුකරුගේ තීරණය නිවැරදි කියලා ඔප්පු කරන්න රොහාන්ට ඒ තරගයේ දී ම හැකි වෙනවා. ඒ කඩුලු 4ක් දවා ගනිමින්. ඒ විදියට ගමන ආරම්භ කෙරුව රොහාන් මුලින්ම ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමකට එකතු වෙන්නේ අවුරුදු 16 දී. ඒ ශ්‍රී ලංකාවේ සංචාරය කෙරුව අවුරුදු 16න් පහළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව. ඊළඟට පසුගිය අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලියටත් ඇතුළත් වෙන්න රොහාන්ට හැකියාව ලැබුනත්, ඒ තරගාවලියේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව නම් රොහාන්ට හම්බ වෙන්නේ නැහැ.

කොහොම වුනත් රොහාන්ගේ දක්ෂතා අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් වුනේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී. ඒ තරගාවලියේ මුල්ම තරගයට සහභාගි වෙලා කඩුලු 5ක් දවා ගන්න රොහාන් සමත් වුනත් ඒ තරගය අපි බංග්ලාදේශයට පරාද වෙනවා. ඒත් දෙවැනි තරගයේ දී ඉනිම් දෙකේ දී ම කඩුලු 10ක් දවා ගන්න රොහාන් නොතිබූ ජයග්‍රහණයකට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අරන් යනවා. ඒ විතරක් නොවෙයි. තරග දෙකක දී කඩුලු 15ක් දවා ගනිමින් තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙනවා.

ඊට පස්සේ තිබුණ එක්දින තරගාවලියට වැස්සෙන් බාධා ආපු නිසා රොහාන්ගේ දක්ෂතා එච්චරම දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. ඒත් කටුනායක දී පැවති තුන්වැනි එක්දින තරගයේ දී කඩුලු 3ක් දවා ගන්න රොහාන් තරගාවලියේ ජයග්‍රාහකයා කවුද කියලා තීරණය වුන අන්තිම තරගයේදීත් එක කඩුල්ලක් අරගෙන ජයග්‍රහණයට දායකත්වය දක්වනවා.

රොහාන් තාම පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩකයෙක්. ඒ හින්දා රොහාන් ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි. හැබැයි හොඳින් රැක බලාගෙන, අවශ්‍ය ගුරුහරුකම් හරියටම දුන්නොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට රොහාන්ගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. එහෙම කියන්නේ ‘ThePapare.com‘ අපි විතරක් නොවෙයි. බංග්ලාදේශයත් එක්ක රොහාන් තරග කරන හැටි දැක්ක හැමෝම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<