යුපුන් සහ නිමාලිගේ ඔලිම්පික් සිහින සැබෑවන ලකුණු

ටෝකියෝ ඔලිම්පික් 2021

214

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ බව ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණා.

කෙසේ නමුත් මේ පිළිබඳව නිල තහවුරු කිරීමක් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් මේ දක්වා නිකුත් කර නොමැති අතර ඔවුන් ඔලිම්පික් සඳහා ක්‍රීඩක වර්ගීකරණය යටතේ සුදුසුකම් ලබා ඇතිද යන්න බොහෝ විට ජූලි 01 වනදා නිල වශයෙන් දැනුම් දෙනු ඇත.

ඒ අනුව මලල ක්‍රීඩාව නියෝජනය කරමින් 2020 ටෝකියෝ ඔලිම්පික් වරම් ලැබූ පළමු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වීමට ද ඔවුන්ට හැකි වන අතර ඔවුන්ට අමතරව අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන්, ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කරමින් මිල්කා ගෙහානි, වෙඩි තැබීම ඉසව්ව නියෝජනය කරමින් ටෙහානි එගොඩවෙල බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ ජූඩෝ ක්‍රීඩාවෙන් චාමර නුවන් ධර්මවර්ධන මීට පෙර ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබුණා.

නිලූක කරුණාරත්න ඔලිම්පික් උළෙලක් සඳහා සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුට අමතරව චාමර ඔලිම්පික් සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. ඊට අමතරව අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

ඔවුන්ට අමතරව පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ සහ Aniqah Gaffoor හට ද ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ වරම් හිමි වීමට ඉඩක් පවතින අතර ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කරමින් නිල දැනුම්දීමක් අපේක්ෂාවෙන් පසුවන බව ද ඔලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්ව තිබුණා.

මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගත් යුපුන් අබේකෝන් මෑත කාලයේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වෙමින් ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයෙහි 46 දක්වා ඉහළට පැමිණීමට සමත් වූ අතර එය තුළින් ඔලිම්පික් සුදුසුකම් සපුරාලීමට ඔහුට හැකි වුනා.

පසුගිය වසරේ ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව තමන් සතු කරගත් යුපුන් මෙම වසරේදී තත්පර 10.15ක කාලයකින් තරගයක් අවසන් කරමින් තමන්ගේම වාර්තාව අලුත් කළා.

එමෙන්ම පසුගිය මස පැවති තරගාවලියකදී මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කාලයකින් අවසන් කිරීමට ඔහු සමත් වූවත් සුළගේ වේගය නිසාවෙන් එය වාර්තාවන් ගොන්නට ඇතුළත් වුනේ නැහැ. නමුත් ඔහුගේ එම කාලය මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලයයි.

සිය ක්‍රීඩා දිවියෙහි සහභාගී වූ ඉහළම තරගාවලිය ලෙස මෙම මස පැවති ඉතාලි ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගී වූ යුපුන් එහි ප්‍රබල ක්‍රීඩකයන් අභිබවමින් සිව්වැන්නා ලෙස තරගය නිම කිරීමට සමත් වූ අතර එම තරගාවලියේ දස්කම් මත ඔහුට ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ ඉහළට පැමිණීමට හැකි වුනා.

ඔහුට අමතරව මීටර් 3000 බාධක දිවීම ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ නිලානි රත්නායක ද මෑත කාලයේ දැක්වූ දස්කම් නිසා ඊයේ දින වන විට ඔලිම්පික් ක්‍රීඩිකා වර්ගීකරණයෙහි මුල් ස්ථාන 45 තුළ රැඳීමට සමත්ව තිබුණා.

ඉන්දියාව සහ ඒ ආශ්‍රිත රටවල්හී පැතිර යන කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය නිසාවෙන් ඉන්දියාව ඇතුළු රටවල් පහකට ටෝකියෝ වෙන ළඟා වීමට දින හතකට පෙර සිට දිනපතා කොරෝනා පරීක්ෂාවන් සිදු කරන ලෙස ජපන් බලධාරීන් දැනුම් දී ඇත. 

ඉන්දියාවට පනවා ඇති එම නීතිය ජූලි 01 වැනිදා සිට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවලට ද බලාත්මක වේ.

එම රටවල් හැර අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජපානයට පැමිණීමට දින 4කට පෙර දෙවතාවක් එම පරීක්ෂාව සිදු කරන ලෙස ද ජපන් සංවිධායකයින් දැනුම් දී ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ සිට මේ වසර දක්වා කල් දැමීමට සිදු වූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<