400m ලෝක ශූරියට වසර දෙකක තහනමක්

260

තහනම් උත්තේජක පරීක්ෂා මගහැරීමට චෝදනා ලැබ සිටි කාන්තා මීටර් 400 ඉසව්වේ වත්මන් ලෝක ශූර බහරේන් ක්‍රීඩිකා Salwa Eid Naser හට වසර දෙකක තරග තහනමක් පැනවීමට ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (Court of Arbitration for Sport) තීරණය කර ඇත. 

මෙම චෝදනාව නිසාවෙන් ඇයට තාවකාලික තරග තහනමක් පැනවීමට පසුගිය වසරේ දී කටයුතු කළ අතර පසුව සිදු කළ විමර්ශනයකින් පසු මෙම තහනම පැනවීමට ඔවුන් තීරණය කර තිබේ. 

Salwa Eid Naser 2019 ජනවාරි සිට 2020 ජනවාරි දක්වා තහනම් උත්තේජක පරීක්ෂා හතරක් මගහැර ඇති බවට චෝදනා ලැබ තිබුණා. 

නව තහනමත් සමඟින් Salwa Eid Naser හට 2023 දක්වා ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන නමුත් ඇයගේ ලෝක ශූරතා පදක්කම අහිමි නොවන බව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙය පිළිබඳව නිවේදනයක් ද නිකුත් කරමින් ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය වැඩි දුරටත් සඳහන් කර තිබුණේ Salwa Eid Naser 2019 වසරේ නොවැම්බර් 25 වැනිදා සිට දිනා ගත් පදක්කම්, මුදල් ත්‍යාග ඇතුළු සියලු ප්‍රතිඵල අවලංගු වන බවයි.

නයිජීරියාවේ උපත ලැබ බහරේනය වෙනුවෙන් ක්‍රීඩා පිටියට පැමිණි 23 හැවිරිදි Salwa Eid Naser 2019 ලෝක ශූරතාවයේ දී කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 48.14ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් එම ඉසව්වට වාර්තා වූ තෙවැනි වේගවත්ම වාර්තාව පිහිටුවීමට ද සමත් වුනා.

ඇයගේ නව තහනම නිසාවෙන් Salwa Eid Naser හට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ අවස්ථාව ද අහිමි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<