නව වසරට යුපුන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්

Florence Sprint Festival 2024

72

මලල ක්‍රීඩා පිටියෙන් ගෙන තිබූ විවේකය අවසන් කරමින් 2024 තරගවාරය ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා.

ඉතාලියේ පැවති Florence Sprint Festival 2024 තරගාවලිය සඳහා සහභාගී වූ යුපුන් එහි මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කළේ පළමුවැන්නා ලෙසයි.

එම කාලය මීටර් 150 ඉසව්ව සඳහා ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය වන අතර ඉසව්ව තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් එහි ආසියානු වාර්තාවට හිමිකම් කියන්නේ යුපුන් වීම ද විශේෂත්වයක්.

මීටර් 100, 200 සහ 150 යන ඉසව් ත්‍රිත්වයේම ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කියන යුපුන් පසුගිය වසරේ දී ආබාධයකට ලක් වූ නිසාවෙන් ඔහුට එම වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුනා.

එම ආබාධය නිසා පසුගිය වසරේ දී ඔහුට සහභාගී වීමට හැකි වුනේ ඉතාමත් අඩු තරඟ සංඛ්‍යාවකට පමණක් වූ අතර තරමක් දීර්ඝ විවේකයකින් පසු සහභාගී වූ පළමු තරගයේ දීම මෙලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහුට හැකි වීම කැපී පෙනෙනවා.

මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු සහ එකම ආසියානු ක්‍රීඩකයා යුපුන් වන අතර මෙම වසරේ දී පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත නිසා ඔහු මෙලෙස සුපුරුදු දස්කම් අතර සිටීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුබ ලකුණක්.

සිංහල සහ හිංදු නව වසර උදාවන මොහොතේ ලක්මාතාවට ගෙන දුන් ජයග්‍රහණයට ThePapare අප සුබ පැතුම් එක් කරන අතර මෙම වසර තුළ කැපී පෙනෙන දස්කම් දක්වමින් තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ගොන්නක් ලක්මාතාවට ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<