පස් දෙනෙක් කටාර් කඩුල්ල පනියි

110

ලබන මැයි මාසයේ කටාර්හි පැවැත්වීමට නියමිත පළමු වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පසුගිය 28, 29 යන දිනයන්හි දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති තෝරා ගැනීමේ තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකු අවශ්‍ය පරිසාධන මට්ටම අභිභවා යන්නට සමත් වී තිබිණි.

මෙම තරගාවලියේදී පරිසාධන මට්ටම ඉක්මවා ගිය එකම ක්‍රීඩිකාව බවට පත් වූ අඹගමුව මධ්‍ය මහා විදුහලේ යමානි දුලංජලී මීටර් 400 බාලිකා ඉසව්ව තප්පර 57.04කදී අවසන් කොට ජයගන්නට සමත්ව සිටියාය.

මේ සඳහා නියම කර තිබූ පරිසාධන මට්ටම තත්පර 57.70ක් වූ අතර ලද ජයග්‍රහණය හේතුවෙන් යමානිට ප්‍රසාද ලකුණු 939ක් හිමිව තිබිණි. පරිසාධන මට්ටම ඉක්මවූ පස් දෙනාගෙන් තිදෙනකුම මීටර් 400 ආශි්‍රතව අත්කරගෙන තිබීමද විශේෂත්වයක් වූ අතර බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙළින් දිනාගත් මහනුවර ශා. සිල්වෙස්ටර් විදුහලේ දර්ශන රාජපක්‍ෂ හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන යන ක්‍රීඩකයන් දෙදෙනාම තත්පර 55.00ක් වූ පරිසාධන මට්ටම ඉක්මවන්නට සමත්ව සිටියහ.

ඒ අනුව දර්ශන රාජපක්‍ෂ තත්පර 53.81කදී අවසන් කොට ප්‍රසාද ලකුණු 948ක් රැස්කර ගත් අතර, උදිත චන්ද්‍රසේන තත්පර 53.85කදී අවසන් කොට ප්‍රසාද ලකුණු 947ක් රැස් කරනු ලැබීය.

මීට අමතරව ගොඩිගමුව කුලරත්න මධ්‍ය මහා විදුහලේ ධම්මික රණතුංග බාලක උස පැනීමේ ඉසව්වේදී මීටර් 2.10ක උසක් තරණය කොට අවශ්‍යව තිබූ පරිසාධන මට්ටම සම කොට තිබිණි. ඩී. එස්. සේනානායක ජාතික පාසලේ චමල් කුමාරසිරි බාලක තුන්පිම්ම ඉසව්වේදී මීටර් 15.18ක දුරක් වාර්තා කොට මීටර් 14.80ක් වූ පරිසාධන මට්ටම ඉක්මවනු ලැබීය.මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ජනප්‍රියම ඉසව්ව මීටර් 400 වුවත් එහි බාලක අවසන් තරගයේදී අවශ්‍ය පරිසාධන සීමාව වූ තත්පර 49.45 ඇතුළත එම තරගය නිම කිරීමට කිසිදු ක්‍රීඩකයකු සමත් නොවීය.

එහෙත් එම තරගයේ මුල් ස්ථාන තුන හිමිකර ගත් ක්‍රීඩකයන් තිදෙනාම තත්පර 50ට අඩු කාලයක් වැය කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ මීටර් 4 × 400 ඉසව්ව සඳහා පදක්කමක් දිනා ගැනීමේ වටපිටාවක් නිර්මාණය වී ඇති බවකි.