ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!

World Athletics Indoor Championship 2024

138
World Athletics Indoor Championship 2024
First-placed USA's Tara Davis-woodhall celebrates after winning in the Women's Long Jump final during the Indoor World Athletics Championships in Glasgow, Scotland, on March 3, 2024. (Photo by Ben Stansall / AFP) (Photo by BEN STANSALL/AFP via Getty Images)

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (04) අලුයම ස්කොට්ලන්තයේ Glasgow හිදි අවසන් වුනේ ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ පෙරමුණට කැඳවමිනුයි.

ශූරතාවලියේ තෙවන සහ අවසන් දිනයේ දී ද තවත් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට බහමාස් හි Devynne Charlton විසින් සමත් වුනා. එමෙන්ම ඊයේ දිනයේ දී කිසිවකු හෝ බලාපොරොත්තු නොවුණු අන්දමේ දක්ෂතා දැක්වීමට නවසීලන්තය සමත් වීමත් විශේෂත්වයක්.

නවසීලන්තයේ පෙරළිය

ඊයේ සවස පැවැත්වුණු පිරිමි උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩක Hamish Kerr විසින් සමත් වුනා. ඔහු විසින් මීටර් 2.31ක උසක් තරණය කරමින් ඉසව්වේ රන් පදක්කම තහවුරු කර ගැනීමෙන් පසුව මීටර් 2.34ක උසකට මාරු වූ නමුත් පළමු උත්සාහයේ දී එය ව්‍යර්ථ වුනා. ඒත් සමඟින් ම සිය ඉතිරි උත්සාහයන් දෙක මීටර් 2.36ක් කරා රැගෙන ගිය Kerr විසින් සිය අවසන් උත්සාහයේ දී එම උස තරණය කිරීමට සමත් වුනේ මෙම තරග වාරයේ ලොව හොඳම දක්ෂතාව ද සටහන් කරමිනුයි.

මෙම ඉසව්ව ආරම්භයේ දී එතරම් අවධානයක් යොමු නොවුණු Kerr අවසානයේ සියල්ලන් ම මවිතයට පත් කළේ ඒ අයුරිනුයි.

එවන් සිදුවීමක් අද අලුයම ද සිදු වූ අතර, මෙහි දී පිරිමි මීටර් 1500 ඉසව්ව සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තයේ Geordie Beamish විසින් සමත් වුනේ ඉසව්ව ජයග්‍රහණ කරතැයි අනුමාන කළ සියලු ධාවකයින් අබිබවා යමිනුයි.

මෙම ඉසව්වේ අවසන් මීටර 50ක දුර තෙක් ම Beamish තරගයේ මුල් තරගකරුවන් අතර හෝ නොසිටි අතර, අවසන් තත්පර කිහිපයේ ඔහු විසින් එක් වරම මතු වී ඉසව්ව ජයග්‍රහණය කිරීම ඔහුට පවා අදහා ගත නොහැකි වුනා.

මෙම රන් පදක්කම් ද්විත්වය සමඟ නවසීලන්තය මෙවර පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත් වූ අතර ඔවුන්ට ඉහළින් රැඳෙන්නේ ඇමරිකාව (රන් – 06) සහ බෙල්ජියම (රන් – 03) පමණයි.

Charltonගේ ලෝක වාර්තාව

ශූරතාවලියේ දෙවන දිනයේ දී Femke Bol විසින් සිය ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමෙන් පසු ශූරතාවලියේ දෙවැනි ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට කාන්තා මීටර් 60 ඉසව්ව ජයග්‍රහණය කළ බහමාස් හි Devynne Charlton සමත් වුනේ (තත්පර 7.65) තමන්ගේ ම ලෝක වාර්තාව බිඳ හෙළමින් වීම විශේෂත්වයක්.

Lyles සහ Duplantis පුදුම වෙයි

මෙම වසරේ ආරම්භයත් සමඟින් ම ඔලිම්පික් රන් පදක්කම් හතරක සිහින දකිමින් පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වට ද තමන් සහභාගී වීමට බලාපොරොත්තු වන බව Noah Lyles විසින් සඳහන් කර තිබුණා. එහි පළමු වෙඩි මුරය පත්තු කිරීම වෙනුවෙන් Lyles අද අලුයම පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ නමුත් ඇමරිකානු කණ්ඩායමට එහි දී ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝක ශූරයා වූ බෙල්ජියමේ Alexander Doom විසින් සහය දිවීමේ ඉසව්වේ දී ඇමරිකානු ආධිපත්‍යය අබිබවා යාමට තම කණ්ඩායමට සහය වුනේ ඉසව්ව වෙනුවෙන් වසරේ හොඳම කාලය ද (03.02.54) වාර්තා කරමිනුයි.

මේ අතර නියත රන් පදක්කමක් සමඟින් තවත් ලෝක වාර්තාවක් පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමින් අද අලුයම පිරිමි රිටි පැනීමේ ඉසව්ව ආරම්භ කළ ස්වීඩනයේ Mondo Duplantis ඉසව්ව ආරම්භ වී ටික මොහොතකින් රන් පදක්කම හෝ හිමි කර ගනීවි ද යන්න පිළිබඳ සැකයක් ඉතිරි කළා. මීටර් 5.85, 5.95, 6.05 යන උස ත්‍රිත්වය ම දැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුවයි ඔහු විසින් තරණය කිරීමට සමත් වුනේ. ඇමරිකානු ක්‍රීඩක Sam Kendricks ගෙන් ද Duplantisට තියුණු තර්ජනයක් එල්ල වූ නමුත් කෙසේ හෝ අවසානයේ Duplantis සිය රන් පදක්කම තහවුරු කර ගැනීමට සමත් වුනා. නමුත් ඔහුගේ එම තරග ස්වභාවය සමඟ ලෝක වාර්තාවක් කරා යාම නම් Duplantisට සිහිනයක් පමණක් ම වුනා.

මේ අතර කාන්තා මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට Femke Bol ප්‍රමුඛ නෙදර්ලන්ත කණ්ඩායම විසින් සමත් වූ අතර, කාන්තා දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට ඇමරිකාවේ Tara Davis Woodhall විසින් සමත් වුනා.

එමෙන්ම පිරිමි මීටර් 800 ඉසව්ව ඇමරිකාවේ Bryce Hoppel, මීටර් 800 කාන්තා ඉසව්ව ඉතියෝපියාවේ Tsige Duguma, කාන්තා මීටර් 1500 ඉසව්ව ඉතියෝපියාවේ Feeweyni Hailu, පිරිමි සත් ප්‍රයාම ඉසව්ව ස්විට්සර්ලන්තයේ Sinon Ehammer සහ කාන්තා තුන් පිම්ම ඉසව්ව ඩොමිනිකානු දේශයේ Thea Lafond විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එසේ මෙවර ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාව දුටු අතර, මෙම වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව් සඳහා මෙම තරගාවලිය ඉතා හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූ බව කිසිඳු සැකයකින් තොරව සඳහන් කළ හැකි.

ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<