යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට

Oslo Diamond League 2022

471

මෑත කාලයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට සුප්‍රකට ඩයමන්ඩ් ලීග් තරගාවලියක් වන Oslo Diamond League (Bislett Games) තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (17) අලුයම 00.17ට පමණ පැවැත්වීමට නියමිත අතර තරගය සඳහා ලොව සිටින ප්‍රබලතම කෙටිදුර ධාවකයින් කිහිප දෙනෙකුම සහභාගී වීමට නියමිතයි.

ඔලිම්පික් මීටර් 100 පදක්කම් ලාභියෙකු මෙන්ම මීටර් 200 ඉසව්වේ ඔලිම්පික් ශූර කැනේඩියානු ක්‍රීඩක Andre De Grasse ද මෙම තරගයට සහභාගී වීමට නියමිත අතර ඔහුට අමතරව Akani Simbine,Benjamin Azamati-Kwaku සහ Reece Prescod යන ක්‍රීඩකයින් ද ආරම්භක ලැයිස්තුවට ඇතුළත්.

යුපුන් ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු පසුගිය වසරේ පැවති Florence ඩයමන්ඩ් ලීග් තරගාවලිය නියෝජනය කළේ ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගතවෙමිනුයි.

එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් සිව්වැන්නා බවට පත්වූ යුපුන්ට එම දස්කම නිසාවෙන් Zürich හී පැවති ඩයමන්ඩ් ලීග් අවසන් තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි වුනා.

මෙම වසරේ සහභාගී වූ තරගාවලි සියල්ලෙම පාහේ කැපී පෙනෙන කාලයන් වාර්තා කළ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වූ අතර ඔහු සුළඟේ සහය පැවති අවස්ථාවක එම ඉසව්ව තත්පර 10.04ක කාලයකින් අවසන් කිරීමට ද සමත් වුනා.

එමෙන්ම අවසන් වරට පසුගිය මාසයේ පැවති සුප්‍රකට Golden Spike Ostrava තරගාවලිය නියෝජනය කළ ඔහු සුළඟේ වේගය -1.2ක් වූ අවස්ථාවක මීටර් 100 ඉසව්ව තත්පර 10.08ක කාලයකින් අවසන් කළා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට අදාළ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ සුදුසුකම් ලබන සීමාව තුළ සිටින යුපුන් හට එම ශ්‍රේණිගත කිරීමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට මෙම තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<