ශ්‍රී ලංකා සහය දිවීමේ ක්‍රීඩකයින්ට ඉන්දියාවේ දී රිදී පදක්කමක්

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

190

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අද (14) පැවති පිරිමි මීටර් 400X4 සහය දිවීමේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගයෙන් රිදි පදක්කම දිනා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් අරුණ දර්ශන, පබසර නිකූ, දිනුක දේශාන් සහ ඉසුරු ලක්ෂාන් මෙම තරගයට සහභාගී වූ අතර ඔවුන් මිනිත්තු 3:06.05ක කාලයක් ඉසව්ව අවසන් කිරීමට සමත් වුනා.

අරුණ දර්ශන විසින් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූවත් දෙවැනි වටයේ දී තරගයේ පෙරමුණ ගත් ඉන්දීය A ක්‍රීඩකයින් පළමුවැන්නා ලෙස තරගය අවසන් කළේ මිනිත්තු 3:05.34ක කාලයක් සමඟිනුයි.

මෙම තරගයේ තෙවැනි ස්ථානය මිනිත්තු 3:15.18ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඉන්දීය B ක්‍රීඩකයින්ට හිමි වුනා.

මීටර් 400X4 සහය දිවීමේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් මීටර් 400 ඉසව්වේ ජාතික ශූරයා වන කාලිංග කුමාරගේ යුරෝපා සංචාරයක නිරත වී සිටින නිසාවෙන් මෙම තරගාවලියට සහභාගී නොවූ අතර ඔහු නොමැතිව මෙම දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීම විශේෂත්වයක්.

සහය දිවීමේ කණ්ඩායමට අමතරව අද දිනයේ දී තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් චමල් කුමාරසිරි තරග බිමට පිවිසි අතර එහි මීටර් 15.81ක දස්කමක් දැක්වූ ඔහුට හිමි වුනේ අටවැනි ස්ථානයයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගී වූ අතර එයින් පිරිමි සහය දිවීමේ ක්‍රීඩකයින්ට අමතරව කාන්තා මීටර් 100X4 ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<