ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණු තැන Silverwood කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

1819

බංග්ලාදේශය පසුපසට තල්ලු කිරීමට තිබුණු අවස්ථාව ගිලිහී යෑම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood ඊයේ (23) අදහස් දක්වා තිබුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (23) මීර්පූර් හිදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් බංග්ලාදේශ පළමු පෙළ ලකුණු 24කට කඩුලු 5ක් ලෙස පසු පාදයට ඇද දමන්නට සමත් වුනා.

කෙසේ වෙතත් Mushfiqur Rahim හා Liton Das ලකුණු 253ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශය ඉතා ප්‍රබල ස්ථානයකට රැගෙන එන්නට පළමු දිනය අවසානයේ දී සමත් වුනා.

දෙවැනි දිනයේ දී බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 365කට සියල්ලන්ම දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි Mushfiqur Rahim ලකුණු 175ක් රැස් කරගෙන සිටියා. Litton Das ලකුණු 141කට දැවී ගියා.

ශ්‍රී ලාංකා වේගපන්දු යවන්නන් වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු කඩුලු 5ක් බැගින් ලබා ගත් අවස්ථාව වාර්තා කළා. අසිත ප්‍රනාන්දු කඩුලු 4යි.

අපි ලබා ගත් ආරම්භයත් එක්ක ඔවුන්ට තවත් පීඩනයක් යොදන්න බැරි වීම ගැන කනගාටුයි.” Silverwood දෙවැනි තරගයේ පළමු දිනය අවසානයේ දී පවසා තිබුණා.

“මම හිතන්නේ මුලින් තිබුණු පන්දුවේ දෝලනය අපි විශිෂ්ට ලෙස භාවිතා කළා. වේගපන්දු යවන්නන් ඉතා විශිෂ්ට ලෙස පන්දු යැවුවා. අවාසනාවට ඉන්පසුව අපිට එය ඉදිරියට රැගෙන හැකියාවක් ලැබුණේ නැහැ. එතැන් පටන් අපි ලකුණු ලබා ගන්න ගොඩක් අවස්ථා ලබා දුන්නා. ඉන් පසුව අපි වැරැද්දක් කළා. අපි උඩ පන්දුව ලබා ගත්තේ නැහැ. ඒකෙන් ලොකු වෙනසක් වෙන්න තිබුණා.”

මම හිතන්නේ මෙය පන්දුවට පහර දෙන්නට හොඳ කඩුල්ලක්. පළමු පැයේ පන්දුව මදක් දෝලනය වුනා. එහි මද දඟ කැවීමකුත් තියෙනවා. මම හිතන්නේ නැහැ ආරම්භයෙන් පස්සේ අපි හොඳට පන්දු යැවුවා කියලා. අපිට ඒක ගැන අවංක වෙන්න වෙනවා. දඟපන්දු යවන්නන් මීට වැඩ හොඳින් පන්දු යවන්න ඕනේ. අපි මේක ගැන ක්‍රීඩාගාරයේ දී ක්‍රීඩකයින් එක්ක කතා කරාවි. අපි ලකුණු ලබා ගත හැකි පන්දු ලබා දුන්නා.”

මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත් Silverwood, ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ප්‍රශංසා කර සිටියා. ටෙස්ට් තරග දෙක පුරාවටම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු හා කසුන් රාජිත විශිෂ්ට ලෙස පන්දු යවමින් බංගලාදේශ ක්‍රීඩකයින් අසරණ කළා.

ඔවුන් අපිට බලාපොරොත්තුවක් දෙනවා. මේ මම කණ්ඩායම සමඟ ඉන්න දෙවැනි තරගය. මම අපිට ඉන්න ක්‍රීඩකයෝ දෙස හොඳින් බලාගෙන ඉන්නේ. කෙටි කාලයකින්ම මට ලොකු බලාපොරොත්තුවක් ඇති වුනා. අපි පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ විනය හොඳින් කළමනාකරණය කරන්න ඕනේ, එතකොට ඔවුන්ට පුළුවන් වෙනසක් කරන්න.”

දෙවැනි දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 143ක් රැස් කරගෙන සිටිනවා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57යි. නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 70ක් රැස් කරගෙන සිටියා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<