ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

1618
Sri Lanka grabs silver in 100m relay

මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි හිදි ක්‍රියාත්මක වන 2022 ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය අද (12) නිමාවට පත්වුනේ ශ්‍රී ලංකා කාන්තා මීටර් 100×4 සහය දිවීමේ ක්‍රීඩිකාවන් විසින් රිදි පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනුයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 45.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් ඉතාමත් පහසුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 43.95කින් ඉසව්ව අවසන් කරමිනුයි.

ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සඳහා අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත් වූ අතර කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායක මෙම සංචාරය සඳහා සහභාගී වුනේ නැහැ.

මෙම වාර්තා කළ දක්ෂතාවය (45.35) ශ්‍රී ලංකා විසින් මෙම තරග වරායේ දැක්වූ හොඳම දක්ෂතාව වුවත්, මෙම සහය දිවීමේ කණ්ඩායම විසින් වාර්තා කළ හොඳම කාලය දැක්වෙන්නේ තත්පර 44.55ක් ලෙසයි. ඒ පසුගිය වසරේ පැවති තරගාවලියේ දීයි.

රන් පදක්කම දිනූ ඉන්දීය කණ්ඩායම සඳහා Hima das, Dutee Chand, Dhanalakshmi Sekar සහ Srabani Nanda ඇතුළත් වූ අතර ඔවුන් සියලු දෙනාගේ හොඳම පෞද්ගලික දක්ෂතා තත්පර 11.50ට වඩා අඩු වීම කැපී පෙනෙනවා.

හෙට (13) ශ්‍රී ලංකා පිරිමි මීටර් 400×4 කණ්ඩායම මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිත අතර තුන් පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි 14 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් හි කාලසටහන

  • ජුනි 13 – මීටර් 200 කාන්තා (මූලික වටය), මීටර් 200 (මූලික වටය), මීටර් 4*400 පිරිමි (මූලික වටය)
  • ජුනි 14 – මීටර් 200 කාන්තා (අවසන්), මීටර් 200 පිරිමි (අවසන්), මීටර් 4*400 පිරිමි (අවසන්), , තුන් පිම්ම (අවසන්)

(ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු මතින් දිවීම සහ මීටර් 200 කේවල ඉසව් සඳහා ද සහභාගී වීමට ඉඩ ඇත)

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<