යුපුන් තවත් ඉතිහාසගත තරගයක් නිමා කරයි

924
Yupun Abeykoon

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2021 ඩයමන්ඩ් ලීග් තරග වාරයේ අවසන් තරගය සඳහා අද (10) සහභාගී වුනා. ඔහු සහභාගී වූයේ Zurich හී පැවති තරගාවලියේ මීටර් 100 අවසන් තරගයටයි.

ලොව ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සහභාගී වූ මෙම තරගය තත්පර 10.25ක කාලයකින් අවසන් කළ යුපුන් අබේකෝන්ට හිමි වුනේ 9 වැනි ස්ථානයයි. තත්පර 9.87ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇමරිකානු ක්‍රීඩක Fred Kerley විසින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

Yupun Abeykoonකැනේඩියානු සුපිරි ක්‍රීඩක Andre De Grasse විසින් දෙවැනි ස්ථානය (තත්පර 9.89) දිනා ගැනීමට සමත් වූ අතර තෙවැනි ස්ථානය ඇමරිකානු ක්‍රීඩක Ronnie Baker (තත්පර 9.91) හට හිමි වුනා. 

යුරෝපා කෙටිදුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් යුපුන් හට මෙවර ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් අදියර නියෝජනය කිරීමට වරම් හිමි වුනේ ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාසගත වෙමිනුයි.

එහි දී තත්පර 10.16ක කාලයකින් තරගය නිමා කළ යුපුන්ට හිමි වුනේ හතරවැනි තැනයි. එම දස්කම් නිසාවෙන් මෙවර ඩයමන්ඩ් ලීග් තරග වාරයේ මීටර් 100 ඉසව්වේ හොඳම ක්‍රීඩකයන් අතරට එක්වෙමින් අවසන් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද යුපුන්ට හැකි වුනා.

මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා මෙන්ම දකුණු ආසියානු වාර්තාවන්ට හිමිකම් කියන යුපුන් වසර 25කට පසු මීටර් 100 ඉසව්වෙන් ඔලිම්පික් වරම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<