වාර්තා මැද අවසන් වූ යුපුන්ගේ හොඳම තරග වාරය

619
Yupun Abeykoon

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවට නව පණක් දෙමින් අගාධයට යමින් තිබූ කෙටිදුර ධාවනය නැවතත් ජාත්‍යන්තර තලයේ ඔසවා තැබීමට මෙරට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකි වුනා.

ඉතාලියේ වාසය කරමින් ක්‍රීඩා කටයුතුවල නිරත වන යුපුන්ගේ නාමය බොහෝ දෙනා අතරට පැමිණෙන්නේ 2020 සැප්තැම්බර් මාසයේ මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළමිනුයි.

එලෙස කෙටිදුර ධාවනයේ නව පිටුවක් ලිවීමට පටන් ගත් යුපුන් සිය ක්‍රීඩා දිවියේ සාර්ථකම තරග වාරය වූ 2021 තරග වාරය පසුගිය දා අවසන් කළේ වාර්තා මෙන්ම ක්‍රීඩා දිවියේ කඩඉම් කිහිපයක්ම ජය ගනිමිනුයි.

  1. ගෘහස්ථ 60m ජාතික වාර්තාව

යුපුන් අබේකෝන් 2021 තරග වාරය ආරම්භ කළේ ගෘහස්ථ තරගාවලි කිහිපයකට සහභාගී වෙමිනුයි. එහි දී ජනවාරි 24 වැනිදා පැවති තරගාවලියකට සහභාගී වූ ඔහු ගෘහස්ථ මීටර් 60m ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ 60m ඉසව්ව තත්පර 6.59ක කාලයකින් අවසන් කරමින් යුපුන් මෙලෙස අලුත් කිරීමට සමත් වුනේ එම ඉසව්වට ඔහු විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව වීම ද විශේෂත්වයක්.

  1. ජාතික වාර්තාව නැවතත් අලුත් කිරීම

ගෘහස්ථ තරග වාරයෙන් පසු එළිමහන් පිටියට පිවිසි යුපුන් අබේකෝන් මැයි මාසයේ ඉතාලියේ Savona නුවර පැවති Savona International තරගාවලියට සහභාගී වෙමින් තමන්ගේම මීටර් 100 ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කළා.

එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් ඔහු විසින් 2020 වසරේ එම ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කර තිබූ වාර්තාව මෙලෙස බිඳ හෙළුවා.Yupun Abeykoon

එමෙන්ම එම තරගාවලියේ මූලික වටය ඔහු තත්පර 10.13ක කාලයකින් තරගය නිමා කිරීමට සමත් වූවත්, සුළඟේ වේගය නිසාවෙන් එය වාර්තාවක් ලෙස සැලකුවේ නැහැ.

  1. ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය

එම වාර්තාව පිහිටුවා දින කිහිපයකට පසුව එනම් මැයි 22 වැනිදා නැවතත් යුපුන්ගේ නාමය බොහෝ දෙනාගේ කතාබහට ලක්වන්නේ ඔහු විසින් ශ්‍රී ලාංකිකයෙකු මෙතෙක් වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීම නිසයි.

ජර්මනියේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කාලයකින් අවසන් කිරීමට ඔහු සමත් වූ නමුත් සුළඟේ වේගය +2.2ක් ලෙස සටහන් වූ නිසා එය වාර්තාවක් ලෙස සැලකුණේ නැහැ.

නමුත් එය මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඕනෑම තත්වයක් යටතේ වාර්තා කළ වේගවත්වම කාලය ලෙස සටහන් වුනා.Yupun Abeykoon

  1. මංගල ඩයමන්ඩ් ලීග් වරම

යුරෝපය පුරාවට පැවති මලල ක්‍රීඩා තරගාවලි රැසක දැක්වූ දස්කම් යුපුන් අබේකෝන් හට ජුනි 06 වැනිදා ඉතාලියේ Florence හී පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට වරම් දිනා දුන්නා.

එය මෙරට මලල ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් වූ අතර ලොව ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කිරීමට වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා යුපුන් වීම ද විශේෂත්වයක්.

එහි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් ලොව ප්‍රබල ක්‍රීඩකයන් හට තියුණු සටනක් ලබා දෙමින් තත්පර 10.16ක කාලයකින් තරගය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

යුපුන්ට තෙවැනි ස්ථානය ඉතා කුඩා කාලයකින් මග හැරී ගිය නමුත් මෙම තරගයේ දී දැක්වූ දස්කම් නිසාවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක වර්ගීකරණයේ ඉහළට පැමිණීමට ඔහුට හැකි වුනා.

  1. වසර 25කට පසු ලැබූ ඔලිම්පික් වරම

මීටර් 100 ධාවන පිටියේ දිගින් දිගටම දැක්වූ දස්කම් නිසාවෙන් යුපුන් අබේකෝන් 2020 ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණය ඔස්සේ සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 1,203ක් ලබා ගනිමින් 45 වැනියා ලෙස කාලසීමාව අවසන් කරමිනුයි.

ඒ අනුව ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් සුදුසුකම් ලබා ගන්නට ඔහු සමත් වූ අතර 1992 වසරේ ශ්‍රියන්තට දිසානායකට පසුව සුදුසුකම් සපුරාලමින් මීටර් 100 වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වීමට යුපුන්ට හැකි වුනා.

Yupun Abeykoonඑමෙන්ම වසර 25කට පසු මීටර් 100 ඉසව්වකින් ඔලිම්පික් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වූ යුපුන් 2020 ඔලිම්පික් උළෙලේ මීටර් 100 මූලික වටය තත්පර 10.32ක කාලයකින් අවසන් කළේ හයවැන්නා ලෙසයි.

එම කාලය ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රමාණවත් නොවූ නමුත් දිගු කලකට පසු ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට ඔහුට හැකි වුනා.

  1. ඩයමන්ඩ් ලීග් අවසන් තරගය

Florence ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් මෙවර ඩයමන්ඩ් ලීග් තරග වාරයේ වේගවත්ම ක්‍රීඩකයින් 08 දෙනා අතරට එක්වෙමින් තරග වාරයේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට යුපුන් අබේකෝන්ට හැකි වුනා.

එය මෙරට ක්‍රීඩකයෙකු හට ලැබූ ඉතා වටිනා මෙන්ම ඉතිහාසගත අවස්ථාවක් වූ අතර යුපුන් එලෙස සහභාගී වූයේ ස්විස්ටර්ලන්තයේ Zurich හිදී පැවති ඩයමන්ඩ් ලීග් අවසන් තරගාවලියටයි.

මීටර් 100 ඉසව්වේ ලොව ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහභාගී වූ මෙම තරගය තත්පර 10.22ක කාලයකින් අවසන් කළ යුපුන්ට හිමි වුනේ නවවැනි තැනයි.

මෙම තරගයේ දී සිය පෞද්ගලික දක්ෂතාවයට ළඟා වීමට යුපුන්ට නොහැකි වුනත් ලොව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගී වන ඩයමන්ඩ් ලීග් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ද විශාල ජයග්‍රහණයකි.

මෙම තරගය සමඟින් යුපුන් සිය ක්‍රීඩා දිවියේ හොඳම තරග වාරය වූ 2021 තරග වාරය අවසන් කළේ සිය ක්‍රීඩා දිවියේ ස්වර්ණමය කඩඉම් රැසක් සනිටුහන් කරමිනුයි.

යුපුන් අබේකෝන් මෙම වසර තුළ සුවිශේෂී කඩඉම් රැසක් පසු කිරීමට සමත් වූ නමුත් මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ ආරම්භයක් පමණි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රමුඛ පෙළේ තරගාවලි රැසක් පැවැත්වෙන 2022 වසරේ මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දක්වා ලක් මාතාවට තවත් ගෞරවයක් ගෙන ඒමට යුපුන්ට හැකි වේවායි ThePapare.com අපේ ප්‍රාර්ථනාවයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<