ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරට දින නියම වෙයි

228

2021 සහ 2022 වසරට අදාළ මලල ක්‍රීඩා තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගිය දා නිවේදනය කළා. ඒ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තරගාවලි සඳහායි.

එම කාලසටහනට අනුව මෙම වසරට නියමිත 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරේ තරග ඉසව් ඔක්තෝබර් 30 සහ 31 යන දෙදින පැවැත්වීමට සැලසුම් කර ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර ජාතික ශූරතාවය අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට සැලසුම් කර අතර එහි පළමු අදියර මැයි මාසයේ දී පැවැත්වුනා. දෙවැනි අදියර අවස්ථා කිහිපයක දී පැවැත්වීමට දින නියම කළත්, වසංගත තත්වයේ වැඩි වීම නිසා කල් දැමීමට සිදු වුනා.

මෙම තරගාවලියට අමතරව මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ආසියානු යොවුන් ශූරතාවය සඳහා තේරීම් තරග සහ දෙසැම්බර් මාසයේ දී ජාතික සහ සුපිරි සංචිතයන්ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැනීමේ තරගාවලියක් පැවැත්වීමට ද නියමිතයි.

2022 වසරේ තරග ආරම්භ කරමින් ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි මාසයේ දී ම ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තේරීම් තරග ද මෙරට දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.