ලෝක රට හරහා දිවීමේ ශූරතාවය කල්යයි

47

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මීළඟ රට හරහා දිවීමේ ශූරතාවය තවත් වසරකින් කල් දමමින් 2023 වසරේ දී පැවැත්වීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් ඕස්ට්‍රේලියාව තුළ පනවා ඇති දැඩි වසංගත පාලන නීති නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

කොරෝනා පාලනය සඳහා දැඩි සීමාවන් පැනවූ රටවල් අතරින් පෙරමුණේ සිටින රටක් වන ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට හැකි සංඛ්‍යාව පවා සීමා කර ඇති අතර විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට ද සිදු වෙනවා.

එම සියලු සීමාවන් සැලකිල්ලට ගනිමින් ලෝක මලල ක්‍රීඩා සංගමය සහ තරගාවලියේ සංවිධායක කමිටුව මෙම තීරණය ගනිමින් ප්‍රකාශ කර තිබුණේ, එක් දිනයක් තුළ පැවැත්වෙන තරගාවලියක් සඳහා එම ක්‍රියාවලි සිදු කිරීම ප්‍රායෝගික නොවන බවයි.

ඒ අනුව 2022 පෙබරවාරි 19 වැනිදා ඕස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක රට හරහා දිවීමේ ශූරතාවය 2023 පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<