මතීෂ වෙනුවට මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට!

ICC Cricket World Cup 2023

476

ආබාධයකට ලක් වීම නිසා ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුණු මතීෂ පතිරණ වෙනුවට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව ThePapare.com වෙත වාර්තා වනවා. 

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මතීෂ තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් පසු උරහිසේ ආබාධ තත්වයකට මුහුණ දුන් අතර, මේ නිසා ඔහුට තරගාවලියේ ඉතිරි තරග දෙකක් අහිමි වී ගියා. පසුව වාර්තා වුනේ ඔහුට මෙම ආබාධය නිසා තරගාවලියේ ඉදිරි තරග ද අහිමි වීමට ඉඩ ඇති නිසා ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති බවයි. 

මේ අනුව මතීෂගෙන් හිස් වූ ස්ථානය වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරට හෝ ඇන්ජලෝ මැතිව්ස් හට හිමි වීමට නියමිත වූ අතර, පසුගිය තරග කිහිපයේ දී ම අසාර්ථක වූ ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුව ද සහිතව 36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් සංචිතය සමඟ එක් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව පසුගිය සතියේ අතිරේක ක්‍රීඩකයෙකු (Travelling Reverse) ලෙස ඉන්දියාව බලා පිටත්ව ගිය මැතිව්ස් එළඹෙන 26 වැනිදා (බ්‍රහස්පතින්දා) එංගලන්තය සමඟ බැංගලෝරයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත තරගයේ දී ශ්‍රී ලංකාවේ අංක හය පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම අද (24) දිනයේ දී මැතිව්ස්ගේ නම මෙම ක්‍රීඩක ආදේශ අනුමැතිය සඳහා ICC තරගාවලි තාක්ෂණික කමිටුව වෙත යොමු කර ඇති අතර දිනක පමණ කාලයක් තුළ ඒ වෙනුවෙන් අනුමැතිය හිමි වනු ඇති බව විශ්වාස කරනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිදු වූ දෙවැනි ක්‍රීඩක ආදේශය ලෙස මෙය සටහන් වනු ඇති.

මේ අතර ඊයේ (23) සවස ශ්‍රී ලංකා කණ්ඩායම පැවැත්වූ පුහුණු සැසියට සහභාගී නොවූ මහීෂ් තීක්ෂණ අද සවස නැවත පුහුණුවීම්වලට එක් වී තිබෙනවා. නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු තරගයේ දී මහීෂ් යම් ආබාධ තත්වයකට ගොදුරු වූ අතර පසුගිය ඉරිදා (22) දිනයේ දී ඔහු ඒ වෙනුවෙන් MRI ස්කෑන් පරීක්ෂණයකට ද සහභාගී වුනා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මෙහි දී එම පරීක්ෂණයෙන් මහීෂ්ගේ ආබාධය බරපතළ නොවන බව තහවුරු වී ඇති අතර, ඒ අනුව බොහෝ දුරට ඔහු එංගලන්තය සමඟ තරගය ක්‍රීඩා කරනු ඇති.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව ගැටීමට නියමිත මෙම තරගය ලෝක කුසලාන ලකුණු සටහනේ පහතින් ම රැඳී සිටින මෙම කණ්ඩායම් දෙකට ම අතිශය තීරණාත්මක එකක් වන අතර, මෙතෙක් ඉතිහාසය විමසා බැලීමේ දී 1999 වර්ෂයෙන් පසුව (2007, 2011, 2015 සහ 2019) එකඳු එක්දින ලෝක කුසලාන තරගයක දී හෝ එංගලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් නොවීමත් විශේෂත්වයක්. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඉන්දියාවේ සිටම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<