කෙටිදුර ඉසව්වේ නව ජවය “මේධානි”

403

මේ මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තනි ඉසව් දෙකකට සහභාගී වන එක ම ක්‍රීඩිකාව වන්නේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ මේධානි ජයමාන්නයි. ඇය එහි දී මීටර් 100 සහ 200 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි. මේ මේධානි ගැන ThePapare.com තබන සටහනක්. 

මේධානිගේ ක්‍රීඩා දිවියේ ආරම්භය වරකාපොළ, උඩුවක කනිෂ්ඨ විද්‍යාලය. ජානමය හැකියාවෙන් යුත් මේධානි ඒ දවස්වල ක්‍රීඩා පිටියේ කළේ තමන් කැමති දෙයක්. කෙසේ වෙතත් ඇය දැන හෝ නොදැන එකල ද සහභාගී වූයේ මීටර් 100 සහ 200 ඉසව් සඳහා. 

“යම්තම් මතක තියෙන කාලෙ ඉඳල ම දිවුවා. උඩුවක කනිෂ්ඨෙ දි මම තරම් දුවන්න කවුරුත් හිටියෙ නැහැ. කවුරුත් උගන්නල දිව්වෙත් නැහැ. ඒත් කලාප සහ පළාත් තරගවලට පවා සහභාගී වුනා. මේ නිසා මට තෝලංගමුව Central එකට එන්න ලැබෙනවා. එතකොට මට අවුරුදු 12ක් විතර ඇති. එතැනදි සිසිල්ටන් අනුරආරච්චි සර් සහ හරංකාවල සර් යටතේ පුහුණුවීම් ලැබෙනවා. සබරගමුව පළාතේ දෙවැනි, තෙවැනි ස්ථාන ලැබෙනවා. 2017 දී සමස්ත ලංකා පළමු වරට දුවනවා. ඒකෙ Final එකක් දුවන්න ලැබෙනවා. ඒත් Place නැහැ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගෙ නිසා ටික කාලෙකට ක්‍රීඩාව නතර කරනවා.”

මේධානිගේ මව ශ්‍රියානි ජයසිංහ. පියා, සිසිර ජයමාන්න. වෘත්තියෙන් රියැදුරෙක් වූ ඔහු මීට අවුරුදු 13කට වගේ ඉහත දී මිය යනවා. දරුවන් තිදෙනෙක්ගෙන් යුත් ජයමාන්න පවුලට ඒක දරා ගත නොහැකි සිදුවීමක්. ඔවුන් තිදෙනා ම පාසල් යන වයසේ. තාත්තා නැති නිවසේ ඊට පසුව අම්මත් තාත්තත් වෙන්නේ මේධානිගේ මව. 

“තාත්තා නැති අඩුව ලොකුවට දැණුනා. නමුත් අම්මා කිසිම දවසක අපිට අඩු-පාඩුවක් වෙන්න තිබ්බේ නැහැ. මගේ අධ්‍යාපනය කටයුතුවලට වගේ ම ක්‍රීඩා කටයුතුවලටත් මටත් වඩා අම්මා තමයි මහන්සි වුනේ. තීරණ ගත්තේ. අම්මට තමයි මාව මලල ක්‍රීඩිකාවක් කරන්න උවමනාව තිබුණේ. අක්කටත් අයියටත් දිවීමේ හැකියාව තිබුනත් අම්මා විශ්වාස කළේ මම ගැන, මගේ දක්ෂතා ගැන. පුහුණුවිම් සඳහා යන්න අවශ්‍ය සෑම දෙයක් ම අම්මා තමයි කරල දුන්නේ. අම්මගෙ ආසාවක් තිබුණා මම ඉතාමත් ඉක්මනින් ජාත්‍යන්තර පිටිය ජයග්‍රහණය කරයි කියලා. ”

මේධානි, මවගේ ඒ ආසාව ඉටු කළා. එහෙත් ඒ වෙද්දී ඇයගේ මව ජීවතුන් අතර නැහැ. 

“අම්මා දැනට අවුරුදු 3කට විතර ඉස්සර නැති වුනා. අම්මා තමයි මගේ ලොකුම හයිය වෙලා හිටියේ. අම්මා ලෙඩ ඇඳේ සිටිද්දිත් කතාව මගේ දිවීම ගැන ම තමයි. මම කිහිප වරක් ම ක්‍රීඩාව නතර කරන්න හිතුවා. ඒත් අම්මගෙ බලකිරීම නිසා නොගිහින් බැරි වුනා. අම්මගෙ නැති වීමත් එක්ක මට අනාගතයක් ගැන හිතාගන්නවත් බැරිව හිටියේ.  ඒත් අම්මගෙ යාළුවෝ, පවුලේ අය අපිට ගොඩක් උදව් කළා. ඉතා දුෂ්කර කාලයක්. මාව බලාගත්තේ තෝලංගමුවේ Central එකේ මගේ ගුරුවරු. අම්මත් තාත්තත් නැති නිවසේ අයියට මගේ වගකීම් පැවරුණා. අක්කා, පුංචිත් (සුසන්තා ජයසිංහ) එක්ක කොළඹ එනවා. ඊට පස්සෙ කාලෙක දී අයියා හමුදාවට බැදෙනවා. මමත් පුංචි ළඟට එනවා.”

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් කොළඹ එන මේධානිගේ ඊළඟ පාසල් නවාතැන වෙන්නේ කොළඹ ලුම්බිණි විද්‍යාලය. 

“කොළඹ ආවට පස්සේ පුංචි තමයි මාව මුලින් ම ක්‍රීඩාංගණයකට දුවන්න එක්ක යන්නෙ. හරිජන් රත්නායක සර් ළඟ ඒ දවස්වල පුහුණුවීම් කළා. පුංචි මාව මෙතැනට එක්ක ආවත්, පුංචිගේ කාර්ය බහුලත්වය නිසා මාව මඟ හැරුණා. ලුම්බිණියෙ උසස් පෙළ කරද්දී මට අසනිප වුනා. පුහුණුවීම් කරන්න අපහසුයි, මහන්සියි. මම ක්‍රීඩාව නතර කරනවා. පාඩම් වැඩවලට වැඩි කාලයක් යෙදෙව්වා.”

ඒ අතහැරීම ම මේධානිගේ මලල ක්‍රීඩා ජීවිතයේ නිසි උපත වුනා. ක්‍රීඩාවෙන් හුදකලා වූ මේධානි, වැඩි කාලයක් ගත කළේ ලුම්බිණි පුස්තකාලයේ. 

“එක දවසක් උමංග සර්, සුමිත් සර් එක්ක මාව හමුවෙන්න ආවා. ඇවිත් නැවත ක්‍රීඩා කරමු කියල කතා කළා. නමුත් මගේ අදහස වෙලා තිබුණේ උසස් පෙළ ඉවර වුනාට පස්සේ නැවත ක්‍රීඩා කරන්න. මම මේ බව කිව්වා. ඒකට උමංග සර් කිව්වේ ‘උසස් පෙළ ඉවර වෙලා ක්‍රීඩා කරනවා කියන්නේ කාලයක් නැහැ. පාසලට කොට්ඨාස තරගයක් හෝ දුවල දෙන්න’ කියලා. මාසයකට විතර පස්සේ මම උමංග සර් එක්ක නැවත ක්‍රීඩාව ආරම්භ කළා. ඒ ආරම්භය ගොඩාක් සාර්ථක වුනා.”

උමංග සුරේන්ද්‍ර, මීටර් 100 පිරිමි ඉසව්වේ වසර 8ක් ශූරයා ලෙසින් කිරුළ පැලඳියෙක්. 2001 වසරේ සිට 2016 වසර දක්වා මලල ක්‍රීඩා ජාතික සංචිතය නියෝජනය කරනවා. ආසියානු රන් පදක්කම්ලාභියෙක්. ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරනවා. 

“මම මේධානි ව හමුවෙන්න යන විට දුවන්න කිසිම ආසාවකින් හිටියේ නැහැ. එයා ඒ බව කිව්වා. නමුත් පාසලේ අපිට ලොකු උවමනාවක් තිබුණා, මේධානි ක්‍රීඩා පිටියට ගෙන්න ගන්න. හැබැයි ඉතිං ඒ වෙද්දී මේධානිට ලොකු හැකියාවක් තිබුණේ නැහැ. පුහුණුවීම් වුනත් ලොකුවට තිබුණෙ නැහැ. මේධානිලා හැදිල තිබුණෙ පාසල දිනවන මට්ටමට දුවන්න. ඒක පුහුණුකරුවන්ගේ වරදක් නෙමේ, ඒක තමයි බොහෝ පාසල්වල අදටත් සිදුවෙන්නේ. ටෙක්නික් පැත්ත නැහැ. ඒ ගැන අවධානය යොමු කරල තිබුණෙ ම නෑ. මේධානිට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබුණා. දිගු ඉසව්  කරන්න බැහැ. එයාට අමාරුයි. මේ නිසා මේධානිව වෙනම අධ්‍යයනය කරන්න වුනා. හදන්න ඕන පැත්ත මට පෙනුණා. මම ඒ තීරණය ගත්තා. එක පැත්තක් දාල බැලුවා. ඒක සාර්ථක වුනා. මාස 3ක් වගේ පොඩි කාලයේ දී හොඳ කාලයක් නිර්මාණය කළා” උමංග සුරේන්ද්‍ර මේධානිගේ පුහුණුකරු, ඇයගේ මලල ක්‍රීඩාවේ ව්‍යාප්තිය ThePapare.com සමඟ සිහිපත් කළේ එලෙසින්. 

නමුත් මේධානිගේ ආරම්භය නම් එතරම් සාර්ථක වෙන්නේ නැහැ. කොළඹ පැමිණි පසු ඇයගේ පළමු දිවිල්ල ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය. එහි දී ඇය තම ඉසව්ව අවසන් කරන්නේ අන්තිමයා වෙමින්. ඒ වෙද්දී ඇය කොට්ඨාස තරගයක් හෝ දුවල තිබුණේ නැහැ. නමුත් ඊට පසුව පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වයස අවුරුදු 18න් පහළ මීටර් 100 තත්පර 12.75කින් දුවලා තුන්වැනියා වුනා. එය ඇයගේ දෙවැනි තරගය වීම හේතුවෙන් මෙය කාගේත් කතා බහට ලක් වූ දක්ෂතාවක් වුනා. ඒ 2019 අවුරුද්ද. මේ අවුරුද්දේ ම ඇය ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට එක් වීමට ද සුදුසුකම් ලබනවා.  

“ඊට පස්සේ මම මීටර් 100 සහ 200 ඉසව්වල පළමු තුන් හතර දෙනා අතර හිටියා. 99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 තත්පර 12.21කින් අවසන් කරමින් තුන්වැනියා වුනා. මේ කාලෙම තමයි මම ඉන්දියාවේ තිබුණ අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්න සුදුසුකම් ලබන්නේ. ඒකෙදි මම මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කරනවා. ඒ වගේ ම මීටර් 100 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ දී රිදී පදක්කමක් ලබා ගන්නවා” මේධානි පැවසුවා. 

මේධානිගේ මේ දක්ෂතාවන් ලෝක ශ්‍රේණිගත මට්ටමේ අවධානයට ලක් වුනා. මේධානි මීටර් 200 ඉසව්ව නිමා කරන්නේ තත්පර 24.08කින්. එමෙන් ම මේධානි සහභාගී වූ සහාය දිවීමේ කණ්ඩායම වසර 19කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කරන ලද හොඳම කාලය ද වාර්තා කරනවා. තරගාවලිය අවසන් වන විට මේධානි එළඹෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වට සහභාගී වීමට සුදුසුකම් සපුරා ගන්නවා. එහි ලෝක පරිසාදන මට්ටම වී තිබුණේ තත්පර 24.35ක්.

Youth Athletes Medhani Jayamannaඅනතුරුව මෙරට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වයට සුදුසුකම් ලබා ගැනීමේ මීටර් 100 තරග ඉසව්වට ද මේධානි සහභාගි වෙනවා. එහි මීටර් 100 කාන්තා ඉසව්ව සඳහා ඇය සුදුසුකම් ලබාගන්නේ තත්පර 11.85කින් තරගය අවසන් කරමින්. 

“ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක ඉසව් දෙකකට Timing වලින් සුදුසුකම් ලැබූ පළමු කනිෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව මේධානි වෙන්න ඇති කියල හිතෙනවා. ඇයට මේක හොඳ ප්‍රවිශ්ඨයක්. අපි මෙතැන දිනනවා කියල කියන්නෙ නැහැ. නමුත් මේධානිගේ කාලයත් සමඟ එහෙම බලාපොරොත්තුවක් තියාගන්නත් පුළුවන්. ඇය තවමත් ඉගෙන ගනිමින් සිටින ක්‍රීඩිකාවක්. අනිත් එක මේධානි ලස්සනටවත් ආටෝපයටවත් දුවන කෙනෙක් නෙමේ. ජවසම්පන්නව ඉදිරියට එන ක්‍රීඩිකාවක්. අනාගතයේ දී ඇයගෙන් මීටත් වඩා දක්ෂතා බලාපොරොත්තු තබා ගත හැකියි. මේධානි මේ වන විට මුල් කාලයේට වඩා හිතුවටත් වඩා හොඳ කාලයකින් තමන්ගේ ඉසව් අවසන් කරනවා. අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්.” උමංග පැවැසුවා. 

වරකාපොළින්, කොළඹ එන මේධානි ව අතරමං නොකර බලාගත්ත විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ නිකිත ග්‍රේරු මහතා සහ කාර්ය මණ්ඩලයත්, දොස්තර චංගා කුරුකුලරත්න මහතාත් විශේෂ තැනක් ගන්නවා. ඒ වගේ ම ඊට නොදෙවෙනි තැනක් ලුම්බිණි විද්‍යාලයට ලැබෙනවා. විශේෂයෙන් ම ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩුබායි හි සේවයේ නියුතු කැලුම් සුජිත් මහතා මෙන් ම ලුම්බිණි විද්‍යාලයේ හිටපු සහ වර්තමාන විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු කාර්ය මණ්ඩලයත් ආදි ශිෂ්‍ය සංගමයත් සහ ලුම්බිණි විද්‍යාලයීය ආදි මලල ක්‍රීඩා සංගමයත් ඒ අතර සිටිනවා. 

“ඇත්තට ම මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි. ඉන්න තැන ගැන පුදුම හිතෙනවා. නතර කරන්න ඉඳලා නැවත පටන්ගෙන අතහැර දාපු හීනයට පන පෙව්වේ උමංග සර්. ඒ වගේ ම මගේ මලල ක්‍රීඩා ජීවිතයට වගේ ම මගේ එදිනෙදා ජීවිතයටත් උදව් කළ ගමේ සහ කොළඹ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සෑම කෙනෙක් ම මට උදව් කළේ මගෙන් උදව්වක් හෝ මගෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් නෙමේ. නමුත් ඔවුන්ට මගෙන් යුතුකමක් ඉටු වෙන්න ඕන. ඒක ඔලිම්පික් රන් පදක්කමකින් සරසන්න පුළුවන් නම්. මගේ අනාගත බලාපොරොත්තුව නතර වෙලා තියෙන්නේ එතැන” මේධානි පැවැසුවා. 

මලල ක්‍රීඩාවේ අංකුර ක්‍රීඩිකාවන් අතර ඉහළින් ම බලාපොරොත්තු තැබිය හැකි මේධානි ජයමාන්නට ThePapare.com හී උණුසුම්  සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<