“කඩුලු ත්‍රිත්වයක්” මුලින්ම මෙරටට ගෙනා සොයිසා

4543
srilankasports.com
 

උසින් වැඩි වේගපන්දු යවන්නන් පිතිකරුවන්ට සැබෑ අභියෝගයකි. උසින් වැඩි, පන්දුව සීම් කරන වේගපන්දු යවන්නන් ඊට වඩා අභියෝගයකි. උසින් වැඩි, පන්දුව සීම් කරන, පන්දුව දෝලනය කරන වේගපන්දු යවන්නන් ඊටත් වඩා අභියෝගයකි. මේ සියල්ල ඇති “වමත්” වේගපන්දු යවන්නෙකු වේ නම්, එය ජාත්‍යන්තර පිතිකරුවන්ට විශාල අභියෝගයකි.

මේ සියලු ආයුධවල හිමිකරුවෙකු වූ නුවන් සොයිසා, “අඩුවෙන් කතා බහ වන, වැඩියෙන් වැඩ කළ” ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන අප කියවන ලිපි පෙළේ හයවැන්නේ අපේ කතා නායකයායි.

පිටිය මැද අප්‍රකට කඩිසරයා – චාමර සිල්වා

මාගේ මතකය නිවැරදි නම්, සොයිසාව මුලින්ම මා නෙත ගැටුණු අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයකි. ඒ 1996/97 තරග වාරය යැයි මතකය කියයි. කෙසේ හෝ ඔය කියන කාලය තුළ දී පැවති එක් තරගයක දී සොයිසා විසින් යවන ලද පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී එක් ඉන්නක් දෙකට බිඳී විසිවී යන දර්ශනයක් ගැන මගේ මතකයේ ඇත. ඒ මා එවැන්නක් දුටු පළමු වතාවයි. ඔබත් ඒ මතකයේ හිමිකරුවෙකු නම් විස්තරාත්මකව අදහස් දක්වන ලෙස ඉල්ලමි. ක්‍රිකට් රචකයෙකු ලෙස මා හට මතකයන් පමණක් ඔබට කිව නොහැකිය. හොඳයි, අපි දත්තවලට එමු.

උස වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කොට ඇත්තේ අඩු වශයෙනි. ස්වාභාවිකවම මෙරට වැසියන්ට උස පිහිටීමේ අඩුවක් ඇති නිසා, උස වේගපන්දු යවන්නන්ට වඩා මෙරටින් බිහිවන්නේ එතරම් උසක් නැති එහෙත් කපටි වේගපන්දු යවන්නන් ය. ඊට බලපාන තවත් හේතුවක් වන්නේ මෙරට දේශීය ක්‍රිකට් තණතීරු පවා වේගපන්දු යවන්නන් හට උචිත වන අයුරින් නිර්මාණය නොවීම ය. එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳෙන්නට නම් වේගපන්දු යවන්නන් කපටි විය යුතුය. චමින්ද වාස්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර ඊට උදාහරණ වේ. 

සොයිසා මෙරටින් බිහිවූ විරල ගනයේ වේගපන්දු යවන්නෙකි.

එහෙත් සොයිසා මෙරටින් බිහි වූ විරල ඝනයේ වේගපන්දු යවන්නෙකි. අඩි 6’4ක් වූ උසකින් යුත්, පන්දුව හොඳින් තණතීරුව මත කෙටිය හැකි, ඉපිලීමක් ඇති, දෝලනයක් ඇති පන්දු යවන්නෙකු ලෙස වයස අවුරුදු 19 දී ම සොයිසා මෙරට නමක් දිනාගෙන තිබුණි. වේගපන්දු යවන්නන්ට කිසිදු සහායක් නොතිබූ තණතීරු මත සීරු මාරුවට වේගපන්දු යැවීමට ඔහුට තිබූ හැකියාවත්, ස්වභාවික උසත් නිසා 1997 මාර්තු මස දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයට ඔහුව ඇතුළත් විය. මංගල ටෙස්ට් තරගයේ එක් ඉනිමක දී පන්දුවාර 40ක් යවා ඔහු විසින් දවා ගත්තේ එක් කඩුල්ලක් පමණි.

මීළඟ ටෙස්ට් තරගය තුළ දී ඉනිම් දෙකෙ හිදීම කඩුලු තුන බැගින් දවා ගන්නට සොයිසා සමත් විය. ඉන්පසුව පැවති දකුණු අප්‍රිකානු සංචාරයට ද එක්වූ ඔහු එහි දී නම් එතරම් සාර්ථක නොවීය. වැඩි උස නිසා ඔහු එතරම් ක්‍රියාශීලී ක්‍රීඩකයෙකු නොවූ අතර 1997 මාර්තු මසදීම සහභාගී වූ එක්දින තරගවල දීත් හොඳින් කඩුලු අතර සිටි නමුත් සොයිසා යම් කාලයකට කණ්ඩායමෙන් ඉවත් විය.

1999 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ හිදී සහභාගී වූ ටෙස්ට් තරගය සොයිසාට විශේෂිත එකක් විය. එහි පළමු ඉනිමේ ඔහු විසින් යැවූ පළමු පන්දු තුනේ දී ම කඩුලු වාර්තා විය. ඔව්, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු පන්දු යවන්නා විය. එදා ඔහුට ගොදුරු වුනේ සිම්බාබ්වේ පළමු කඩුලු තුන වූ දක්ෂ පිතිකරුවන් ලෙස හැඳින්වෙන ට්‍රෙවර් ග්‍රිපර්, මරේ ගුඩ්වින් සහ නීල් ජොන්සන් ය.

ශ්‍රී ලංකාවේ පළමු කඩුලු ත්‍රිත්වයේ හිමිකරු.

2001 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී කොදෙව්වන්ගේ පිතිකරණ බල ඇණිය සවිමත් මට්ටමක තිබුණි. තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගවලට සහභාගී වූ සොයිසා, එහි තෙවැනි තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කොට තිබූ විශිෂ්ට පිතිකරු බ්‍රයන් ලාරාව දවා ගැනීමට යැවූ පන්දුව අදටත් අමතක නොවන්නකි. ලාරා තුළට දෝලනය වූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වදින විට ලකුණු 130ක් වාර්තා කොට සිටි ලාරා දැවී ගියේය. එය තරගය පුරාවටම ඔහු විසින් දවා ගත් දෙවැනි කඩුල්ල වුවත් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට හැකි වූයේ “ලාරාගේ ඇණය” ගැලවීමෙන් පසු ය.

කෙතරම් දක්ෂ පන්දු යවන්නෙකු වුවත් ඇතැම් වේලාවල් වලදී ඔහුගේ ඉලක්කය සහ පන්දුව පතිත කරන ස්ථානය නියමිත රේඩාර් තාක්ෂණයට සිදු නොවීම ගැටලුවක් විය. එම නිසා චමින්ද වාස් සමඟ පන්දු යැවිය හැකි මීළඟ පන්දු යවන්නා වීමේ හැකියාව තිබුනත් ඔහුට වරින් වර කණ්ඩායමෙන් පිටට යන්නට සිදු විය. එක්දින තරගවල දී ලකුණු පාලනය අත්‍යාවශ්‍ය වූ නිසා ලකුණු පිටාර ගැලීම සොයිසාට තිබූ බලවත් ගැටලුවක් විය. ඊට අමතරව ඔහු ආබාධ නිසා ද දැඩි පීඩා වින්දෙකි.

කෙසේ වෙතත් ඔහුගේ පන්දු යැවීමේ සුවිශේෂී වෙනසක් දැකිය හැකි වුනේ ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ වේගපන්දු යවන්නෙකු වූ ග්ලෙන් මැක්ග්‍රාව හමු වූ අවස්ථාවක ඔහුගෙන් උපායන් කිහිපයක් ඉල්ලා ගෙන පුහුණු වීමෙන් පසු ය. 2004 තරග වාරය පුරාවටම සොයිසා ක්‍රිකට් දස්කම් අතර ඉහළින් සිටියේය. වේගය මඳක් අඩු වී තිබුනත්, ඔහුගේ පන්දුවේ ඉලක්කය, සීම් කිරීම සහ දෝලනය කිරීම වෙනත්ම තලයක තිබුණි. 2004 මහනුවර අස්ගිරියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවම පළමු ඉනිමේ ටෙස්ට් කඩුලු 4ක් දවා ගත් සොයිසා එක්දින ක්‍රිකට් තරගවල දී ද කඩුලු අතර සිටියේය.

2004 සිම්බාබ්වේ සංචාරයේ දී සොයිසාගේ පළමු ටෙස්ට් කඩුලු 5 දක්ෂතාවය සනිටුහන් විය. ඔහුගේ පළමු එක්දින කඩුලු 5 වාර්තා වූයේ ද එම වසරේ දී ම දකුණු අප්‍රිකාවට එරෙහිවයි. අදාළ කාලය තුළ දී සොයිසා විසින් ප්‍රගුණ කරමින් සිටි තවත් ක්‍රිකට් අංගයක් විය. ඒ පිතිකරණයයි.

2004, සුවිශේෂී වසරකි.

සොයිසාව පන්දු යවන්නෙකු ලෙස හැඳින්වුවත්, ඔහු ස්වභාවික පිතිකරුවෙකි. දිගු පාද, අඩි 6ක උස සහ දිගු දෑත් මෙන්ම දෑත් සහ දෑස්වල සමායෝජනය ඉහළින් තිබූවෙකු වූ නිසා ඔහුට පිතිකරණ හැකියාවක් තිබුණි. ඔහුගේ හොඳම ක්‍රිකට් යුගයේ දී ඔහු දේශීය තරග වල ආරම්භක පිතිකරුවෙකු ලෙස හෝ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් පිතිකරණය ප්‍රගුණ කරමින් සිටියේය. එය ප්‍රයෝජනයට ගත හැකි නියමාකාර අවස්ථාවක් ජාත්‍යන්තරයේ දී ඔහුට හිමි නොවුනත්, ඔහු විසින් දියුණු කර ගත් පිතිකරණ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ අවස්ථා කිහිපයක්ම ඇත.

2004 ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පස්වැනි තරගයේ දී ඕස්ට්‍රේලියානුවන්ගෙන් ලද ඉලක්කය 199ක් විය. සොයිසා කඩුලු තුනක් දවා ගත්තේය. ලකුණු ගණන පහසු වුවත් එය මන්දගාමී විකට්ටුවකි. හඹා යෑමට අපහසු ඉලක්කයකි. කොටින්ම කිවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කැපූ වලේම ඔවුන් වැටෙන්නට විය. ලකුණු 136 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස උපුල් චන්දන ක්‍රීඩාගාරයට හැරී ගියේය. සොයිසා පිටියට පිවිසෙන විට පන්දු 91ක දී වාර්තා කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 63කි. ඒ බ්‍රෙට් ලී, මයිකල් කැස්ප්‍රොවිච්, බ්‍රැඩ් විලියම්ස් යන වේගපන්දු යවන්නන්ට සහ බ්‍රැඩ් හොග්, ඇන්ඩෲ සයිමන්ඩ්ස්, මයිකල් ක්ලාක් වැනි මන්දගාමී විකට්ටුවල පන්දු යැවීමේ ප්‍රමුඛයන්ට එරෙහිව ය. ඉතිරිව තිබුණේ කඩුලු 2ක් පමණ ය.

සොයිසාට එක් වාසියක් ලෙස තිබුණේ පීඩනය දරාගෙන පන්දුවට පහර දිය හැකි දක්ෂ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වූ රසල් ආනෝල්ඩ් එක් අන්තයක රැඳී සිටීමයි. සොයිසා, පහරවල් කිහිපයක් එල්ල කොට විශ්වාසය ගොඩනගාගෙන පසුව වේගවත් පහරවල් කරා යන්නට විය. ආනෝල්ඩ්, පීඩනය දරාගෙන පන්දු 64කින් ලකුණු 23ක් රැස්කරන විට සොයිසා නොදැවී වේගවත් ලකුණු 47ක් වාර්තා කරමින් ජය මාවත එළිපෙහෙළි කළේ පන්දු 42ක් තුළ ය. එදින ඔවුන් දෙදෙනා විසින් ගොඩනැගූ ලකුණු 66*ක සම්බන්ධතාවය මේ වන විටත් SSC පිටියේ 8 වැනි කඩුල්ල සඳහා වාර්තා වී ඇති හොඳම එක්දින ලකුණු සබඳතාවයයි.

තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

එහෙත් ඔහුව පිතිකරුවෙකු හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස යොදාගන්නට ශ්‍රී ලංකා බලධාරීන් උනන්දු නොවීය. ඒ එකල දක්ෂ පිතිකරුවන් රැසක්ම ශ්‍රී ලංකාව සතු වීමත්, ආබාධ වලින් සොයිසාව බේරාගැනීමේ මෙහෙයුමක් ලෙසටත් තේරුම් ගත හැකිය. එහෙත් සොයිසා යනු අවශ්‍ය ඕනෑම අවස්ථාවක පිත්තෙන් ද කතා කළ හැකි ක්‍රීඩකයෙකු බව අපි දැන සිටියෙමු.

2000 වසරේ පාකිස්තාන ටෙස්ට් සංචාරයේ පළමු තරගය ශ්‍රී ලංකාව විසින් ජය ගත්තේ කඩුලු දෙකකිනි. පළමු ඉනිමේ දී සොයිසා විසින් ලකුණු 26ක් ලබා චමින්ද වාස් හා එක්වී ලකුණු 51ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර දෙවැනි ඉනිමේ දී අර්ජුන රණතුංගගේ අතෙහි ඇඟිල්ලක පන්දුව වැදී ප්‍රතිකාර සඳහා ක්‍රීඩාගාරයට ගිය පසු පන්දු 34කින් ලකුණු 13ක් ලබා තරගය ස්ථාවර කරගන්නට සොයිසා යම් දායකත්වයක් ලබා දුන්නේය. පසුව යළි පැමිණ තරගය අවසන් කළ රණතුංගගේ වීර ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවට ජය හිමි විය.

2001 නවසීලන්තයට එරෙහිව ලකුණු 283ක් හඹාගිය එක්දින තරගයක දී පන්දු 19කින් ලකුණු 32ක් ලබා අවසන් මොහොතේ සොයිසා එවැනිම උත්සාහයක් දැරුව ද ඔහුගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාව ලකුණු 13කින් පරාජය විය.

නුවන් සොයිසා ඉනිමක මැද සහ අවසන් භාගයේ පන්දු යවන්නෙකු නොවේ. වැඩි වශයෙන් ප්‍රතිවාදීන්ගේ පළමු කඩුලු කිහිපය දවා ගැනීමේ හැකියාවක් තිබූ ක්‍රීඩකයෙකි. ඔහු විසින් ලබාගෙන ඇති එක්දින කඩුලු 108න් 68.5%ක් මුල් පෙළ කඩුලු ය. ඔහුගේ ටෙස්ට් කඩුලු 64න් 43.8%ක් මුල් පෙළ කඩුලු ය.

මුල් පෙළ කඩුලු දවාගැනීම, වේගපන්දු යවන්නෙකුගේ ප්‍රධාන කාර්යභාරයයි.

සාර්ථක 2004 වසරෙන් පසුව සොයිසාව නැවත ටෙස්ට් පිටියේ දී දැකිය නොහැකි විය. 2005 දී එක්දින තරගයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව 2007 වසර දක්වාම යළි අවස්ථාවක් නොලද සොයිසා, හදිසියේම 2007 වසරේ ඉන්දියානු සංචාරයේ දී කණ්ඩායමට එක්කරගත් නමුත් එහි දී ද තරගය අත්හැර දැමුණු එකක් වූ පසු අපට ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තුළ දැකිය නොහැකි විය.

පසුව නොයෙකුත් චෝදනා නිසා ඔහු ගැන වරින් වර කතාබහට ලක්වුනත් ඒවාට ඔහු වැරදිකරු ද/නිවැරදිකරු ද සෙවීම අදාළ අංශවලට භාර කොට ඔහුගෙන් ගත හැකි ක්‍රිකට් පාඩම් ඉගෙනීම කා හටත් වැදගත් විය හැකිය. මන්ද යත් මොවුන් ද ශ්‍රී ලංකාවේ ස්වර්ණමය ක්‍රිකට් යුගයේ යම් යම් අවස්ථාවල දී අපගේ රට බැබළ වූ ක්‍රීඩකයන් වන බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<