”ඒ තමයි ක්‍රීඩාවේ ස්වභාවය” බොහෝ දෙනා මේ ප්‍රකාශය සමඟ එකඟ නොවුනත්, තමන්ට තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වීමේ අවස්ථාව නොලැබීම පිලිබඳ ඇසූ විට රොෂේන් සිල්වා දුන් පිළිතුර එයයි.

පසුගිය වසර 8 – 9 ක කාලය ඇතුලත දේශීය අන්තර් සමාජ ක්‍රිකට් කරලියේ දක්ෂතා සලකා බැලීමේදී  වඩාත්ම ස්ථාවරව ලකුණු අතර සිටි පිතිකරුවා ලෙස රොෂේන් සිල්වා අවිවාදිතවම පිළිගත යුතුය. ඔහුගේ පළමු පෙළ තරග වල පිතිකරණ සාමාන්‍ය 49.82ක් වන අතර එය දෙවැනි වන්නේ මෙරටින් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා වන කුමාර් සංගක්කාරට පමණයි. රොෂේන්ගේ වසර ගණනාවක ස්ථාවරත්වය පිලිබඳ තේරුම් ගැනීමට එයටත් වඩා සාක්ෂි අවශ්‍ය නොවේ

ශ්‍රී ලංකාවේ නවතම T20 බලාපොරොත්තුව – තික්ෂිල ද සිල්වා

නව මුහුණුවරකින් යුතු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් සංචිතය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තුනකින් සමන්විත තරගාවලියට එක්වන්නේ..

රොෂේන් සිල්වා හට ජාතික සංචිතයකට ඇතුලත් වීමටද වසර ගණනාවක් බලා සිටීමට සිදුවූ අතර අවසානයේ එම සිහිනය සැබෑ වුනේ පසුගිය වසර අවසන් භාගයේදී සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයට ඔහුගේ නමද ඇතුලත් බව එවකට කණ්ඩායම් කළමනාකරු ජෙරී වවුටස් විසින් කල දැනුම් දීමකට අනුවයි. වසර ගණනාවක මහන්සියේ ප්‍රතිඵල පෙන්වමින් තම පළමු ජාත්‍යන්තර අත්දැකීම සැබෑ ගැනීමට රොෂේන් හට එම තරගාවලිය මහඟු අවස්ථාවක් ලෙස දිස්වුනේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් පසු එම ස්ථාන වල අඩුපාඩුව පුරවන්නට එතෙක් කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාව ලැබී නොතිබීම හේතුවෙනුයි.

”පිතිකරුවෙකු ලෙස ඕනෑම කෙනෙකුගේ අභිප්‍රාය ලකුණු ලබා ගැනීමේ ස්ථාවරත්වය රඳවා ගැනීමයි. ඉතින් මම 2011 වසරේ පමණ සිට දේශීය තරග වලදී ස්ථාවරත්වයකින් යුතුව ලකුණු අතර සිටියා. මම හොඳින්ම ලකුණු අතර සිටි 2011, 2012 කාලෙදී මට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතුවා. නමුත් ඒ වන විට තිලාන් සමරවීර වැනි ක්‍රීඩකයන් කණ්ඩායමේ හිටපු නිසා මට අවස්ථාව හිමිවුණේ නැහැ. කොහොම වුනත් මම උත්සාහය අතහැරියේ නැහැ. දිගටම ලකුණු අතර හිටියා, ඉතින් මට පලමු වරට කණ්ඩායමට කැඳවීමක් ලැබුනාම මට දැනුනේ විශාල සතුටක්.”

ඔහුට මෙම කැඳවීම ලැබුනේ වසර ගණනාවක් පුරා ස්ථාවරව පැවති පිතිකරණ දක්ෂතා ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් හොඳින්ම ඔප මට්ටම් කරගත් තරග සංචාරයකට පසුවයි. ඒ ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයයි. කණ්ඩායමට ඇතුලත් වීම සඳහා බෙහෙවින් කැපවී සිටි රොෂේන් මෙම තරගාවලියට පෙර ජාතික තේරීම් කමිටුවේ විශේෂ අවසරයක් ලබාගෙන උතුරු අයර්ලන්තයේ දේශීය ක්‍රිකට් තරග සඳහා සහභාගී වීමටද කාලය වෙන් කර ගන්නට සමත් විය.

”ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට පෙර මම අවසර ලබා ගත්තා අයර්ලන්තයේ දේශීය තරග සඳහා සහභාගී වන්නට. අයර්ලන්තය, එංගලන්තයටත් වඩා සීතල රටක්. ඉතින් එංගලන්ත සංචාරය වන විට මට හැකිවුනා ඒ දේශගුණයට සහ තත්ත්වයන්ට හුරු පුරුදු වී සිටින්නට. මම හිතනවා එම සංචාරයේදී මගේ සාර්ථකත්වයට හේතුව එයයි කියලා.”

Roshene Silva.වසර ගණනාවක බලාපොරොත්තුවක් ඉටු වුවද,  එම කාලය තමන්ට ඉතා අභියෝගාත්මක සමයක් වූ බව රොෂේන් පවසයි. පළමු වරට ජාතික සංචිතයකට කැඳවීම ලැබී සතියක් ගත වන විට රොෂේන් ගේ බිරිඳ ‘අරෝශි’ ඔවුන්ගේ කුළුඳුල් දරුවාට උපත ලබා දුන්නාය. ජීවිතයේ සතුටුදායකම සිදුවීම් සමඟ වුවත් අභියෝග රැසක්ද ඒ සමඟම ගැබ්වී තිබුණු බව රොෂේන් සිහියට නගයි.

”මගේ බිරිඳට ගොඩාක් කැපකිරීම් කරන්නට සිදුවුනා. ඇය නීති විද්‍යාල සිසුවියක් වුනත් ඇයගේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවුනා. ඒ වගේම මම විදේශගතව සිටි නිසා ඇය පසුතැවිල්ලෙන් හිටියේ කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මට ඇයගේ ළඟ ඉන්නට නොහැකි වෙයි කියලා. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මට හැකිවුනා ඒ අවස්ථාව සඳහා ඇය සමඟ සිටින්නට.”

ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරගයට පෙර බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ එම තරගය සඳහා ධනංජය සිල්වා අභිබවා රොෂේන් හට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි. රාගම ක්‍රීඩා සමාජයෙන් බිහිවූ රොෂේන් පිලිබඳ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙකුද සඳහන් කලේ මෙලෙසින්.

”සාධාරණව බැලූ කල රොෂේන් සිල්වාගේ පළමු පෙළ වාර්තා ඉතා විශිෂ්ඨයි. ඔහුට අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. ඒ වගේම සාර්ථක A කණ්ඩායම් තරග සංචාරයකින් පසු ඔහු ජාතික කණ්ඩායමේ දොරට  තට්ටු කරමින් සිටිනවා.”

සිරි කුරුස විදුහලෙන් සා. සෙබස්තියන් විදුහලට; ප්‍රවීන් ජයවික්‍රමගේ පිබිදීම

කළුතර සිරි කුරුස විදුහලෙන් හඳුනා ගනු ලැබූ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කල යොවුන් ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් ජයවික්‍රම..

කෙසේ වෙතත් ජුලි මස 26 වැනිදා හිරු උදා වුනේ ජාතික තේරීම් කමිටුව විසින් රොෂේන් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවූ පුවත ද සමඟයි. දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කරන ධනංජය කණ්ඩායමට තුන් ඉරියවු ක්‍රීඩකයකු ලෙස වැදගත් වන බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණි. මෙය බලාපොරොත්තු නොවූ තීරණයක් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයට පිවිසුනේ පන්දු යවන්නන් හිඟයක් සහිතව වීම හේතුවෙන් අදාළ තේරීම අසාධාරණ තීරණයක් නොවීය.

තේරීම් කමිටුව රොෂේන් හට අසාධාරණයක් කල බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතය වුවද රොෂේන් එම මතය පිළිනොගනී.

”මම හිතහ්හේ නැහැ මම අවාසනාවන්තයි කියලා. කියමනක් තියනවා ‘එය තමයි ක්‍රීඩාවේ ස්වභාවය’ කියලා. දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා අසාර්ථක වෙන විට සමහරු කියනවා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් ඉවත් කරලා මට අවස්ථාව දෙන්න කියලා. නමුත් එය සිදු නොවන හේතුව තමයි මම මැදපෙළ පිතිකරුවෙකු වීම සහ ඔවුන් ආරම්භක පිතිකරුවන් වීම.”

තේරීම් කමිටුවේ තීරණය තම ඉදිරි ගමන සඳහා සවියක් කර ගැනීමට රොෂේන් තීරණය කළද මෙතරම් ආසන්නයට පැමිණ ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලැබීම පිලිබඳ ඔහු තුල යම් පසුතැවිල්ලක් ද නැතුවාම නොවේ. ” මම හිතුවා අවසන් ටෙස්ට් තරගයේදී මට අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද ධනංජය ආරම්භක පිතිකරුවෙක් නිසා මට හිතුනා ඔහුව ආරම්භය සඳහා යොදාගෙන මට මැදපෙළ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබාදෙයි කියලා. නමුත් කළමනාකාරීත්වයේ තීරණය වුනේ අවසන් තරගය සඳහාත් කණ්ඩායමේ වෙනසක් නැතිවම ක්‍රීඩා කිරීමයි. එක පැත්තකින් මම දුක් වෙනවා මට ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා කරන්න නොහැකි වීම ගැන. නමුත් ඕස්ට්‍රේලියාව ඒ වනවිට ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම, ඉතින් ඔවුන්ට පූර්ණ තරගාවලි පරාජයක් හිමි කර දුන් සංචිතයේ සාමාජිකයෙක් වීම පිළිබඳව මට ආඩම්බරයකුත් තියනවා.

මෙවන් අසීරු අවස්ථා වලදී රොෂේන් හට ක්‍රිකට් පිටිය එපිටින් ලැබෙන සහය සහ දිරි ගැන්වීම් වලින් නම් අඩුවක් නැහැ.

”මගේ වැඩිමහල් සහෝදරයා රොෂාන් මට නිරතුරුවම සහය වෙනවා. ඔහු තමයි හැමවිටම මගේ පසුපසින් සිටිමින් වඩාත් හොඳින් ක්‍රීඩා කරන්නටත්, ස්ථාවරත්වය රැක ගන්නටත් වගේම බලාපොරොත්තු නැති කර නොගන්නටත් මාව පොළඹවන බලවේගය. ඒ වගේම මගේ පාසලේ ආදී ශිෂ්‍යයෙකු වන ස්ටීවන් මොරායස් මම පාසලෙන් ඉවත් වූ පසු මට ගොඩක් සහය වුනා, අදටත් මම ලකුණු අතර සිටියත් නැතත් නිරතුරුවම මට කතා කරමින් මා දිරිගන්වන්න ඔහු අමතක කරන්නේ නැහැ. ”

Roshene Silva.ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල උත්ප්‍රේරකයක් වූ අතර රොෂේන් පවසන්නේ ක්‍රීඩක විවේකාගාරය තුල පැවති පරිසරය කණ්ඩායමේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකයක් බවයි.

”කවුරුත් අපෙන් මෙතරම් දක්ෂතාවක් බලාපොරොත්තු වුනේ නැහැ. මොකද අපි තරගාවලියට කලින්ම පැරදිලා හිටියේ. පළමු දිනයේ කණ්ඩායම ලකුණු 117කට දැවී ගියා. ඔවුන් ලකුණු 200 පසු කල අවස්ථාවේ ක්‍රීඩක විවේකාගාරය නිහඬ වෙලා තිබුනේ. නමුත් අපි විශ්වාස කළා අපිට යම් සටනක් දෙන්න පුළුවන් කියලා.”

”කළමනාකාරීත්වය නිරතුරුවම ක්‍රීඩක විවේකාගාරයට පැමිණියා. විශේෂයෙන්ම සනත් අයියා (ජයසුරිය), ඔහු නිතරම ක්‍රීඩකයන් දිරිමත් කළා. මට මතකයි පළමු ටෙස්ට් තරගයේදී කෞෂාල් සිල්වා අසාර්ථක වුනාට පසුව ඔහු කෞෂාල් ලඟට ඇවිත් කිවුවා ‘සිදු වුනු දේවල් අමතක කරලා ධනාත්මකව ක්‍රීඩා කරන්න’ කියලා. ඉතින් ඒ වගේ සිදුවීම් නිසා ක්‍රීඩකයන් තුල නිසඟවම ආත්ම විශ්වාසය වර්ධනය වෙලා තවත් හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙනවා.”

මම පිතිකරණයේ යෙදෙන හැටි: කුමාර් සංගක්කාර

මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද?

අවස්ථා ගණනාවකදීම ජාතික කණ්ඩායමේ දොරකඩටම පැමිණ ආපසු හැරී යාමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයෙකුට තේරීම් ක්‍රියාවලිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වන අතර රොෂේන් හට ද ශ්‍රී ලංකා කණ්ඩායමක් නියෝජනය කිරීමේ සිහිනය පසුපස හඹාගොස් හති වැටුණු අවස්ථා නොමැත්තේ නොවේ.

”මම තීරණය කළා ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටකට ගොස් ක්‍රීඩා කරන්න. නමුත් මට ආපහු හිතුනා ශ්‍රී ලංකා 19න් පහල, අන්තර් සමාජ සහ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් මෙතරම් දක්ෂතා දැක්වුවාට පසුව මගෙන් රටට විය යුතු සේවය ඉටු නොකර රටින් පිටවීම අපරාධයක් කියලා. ඉතින් මම තවමත් බලාපොරොත්තු සහගතව සිටිනවා, අවස්ථාවක් ලැබෙන තුරු. මොකද මම විශ්වාස කරනවා මා සතුව ජාතික කණ්ඩායමට ලබා දිය හැකි සේවයක් තවමත් තිබෙන බව.

Image Courtesy Bangladesh Cricket
Image Courtesy Bangladesh Cricket

රොෂේන් සමඟ කතා බහ කිරීමේදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ඔහු පසුගිය අමිහිරි අත්දැකීම් මත පදනම්ව තීරණ ගැනීම වෙනුවට තමන්ගේ දක්ෂතා ස්ථාවරව ඉදිරියට ගෙන යාම පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන බවයි. ඔහුගේ පිතිකරණයේ ඇති තාක්ෂණික නිරවද්‍යතාව ඉහලින්ම අගය කරන බොහෝ පුහුණුකරුවන් පවසන්නේ ඕනෑම තරගයක අසීරු අවස්ථා වලදී පවා තරගයේ රැඳී සිටීමට රොෂේන් සතුව විශේෂ කුසලතාවක් පවතින බවයි. රොෂේන් ද තමන්ගේ බලාපොරොත්තු ටෙස්ට් තරග සඳහා පමණක් සීමා කරගෙන සිටින ක්‍රීඩකයෙකු නොවේ.

”මාව හඳුනාගෙන තිබෙන්නේ ටෙස්ට් තරග සඳහා වඩාත් සුදුසු ක්‍රීඩකයෙකු ලෙසයි. නමුත් මම විශ්වාස කරනවා එක්දින තරග වලදීත් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට මට හැකියාව තිබෙන බව. මම දේශීය එක්දින තරග වල ශතක 4ක් වාර්තා කර තිබෙනවා. ඒ වගේම දේශීය එක්දින තරග ඉතිහාසයේ 4 වන කඩුල්ල සඳහා ගොඩනැගුනු ඉහලම සබඳතාව තිබෙන්නේ මගේ සහ මොමිනුල් හක් ගේ නමින්. අපි දෙදෙනා බංග්ලාදේශ දේශීය එක්දින තරගයකදී ලකුණු 276ක් එක් කළා. ඉතින් මම විශ්වාස කරනවා එක්දින පිටියේ වුවත් මට දායකත්වයක් ලබා දිය හැකියි කියලා. මම බලාගෙන ඉන්නේ මගේ හැකියාව ඔප්පු කරන්න අවස්ථාවක් ලැබෙන තුරු.”

පසුගිය මාස 6 ක පමණ කාලය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් බොහෝ දෙනා අසාර්ථක වීම කැපී පෙනුණු කරුණක් වූ අතර, ඒ සඳහා පිළිතුරු සොයන තේරීම් කමිටුවට, රොෂේන් සිල්වා තුල ඇති හැකියාව ජාතික කණ්ඩායමට කෙතරම් ප්‍රයෝජනවත් විය හැකිද යන්න අත්හදා බැලීමට මේ හොඳම කාලය නොවේද ?

>>  තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න <<