කැන්ගරුවන්ට එරෙහි සිංහ සෙයියාව

ICC World Cup 2023

236

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය, ඕස්ට්‍රේලියාව සමඟින් අද (16) Lucknow හි Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14 වැනි තරගය වන අතර දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ මෙතෙක් පැවති තරග 2 දී ම පරාජයට පත් වෙමින් නිසා මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම ඉතා ම වැදගත් වෙනවා.  

නිමා වූ තරග අතරින් සෑදී ඇති ප්‍රසාද ලකුණු පුවරුවේ, මේ වන විට ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාවට හිමි ව ඇත්තේ 10 වැනි ස්ථානයයි.  

ශ්‍රී ලංකා සංචිතය: කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න. 

ඕස්ට්‍රේලියා සංචිතය: Pat Cummins (නායක), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසය තරග 102කින් සමන්විතයි. එහි දී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණ 63ක් ද සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ 35ක් ද ලබා සිටින අතර නොවිසඳුණ තරග 4ක් ද ඊට අයත්.  

ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවස්ථා 10ක දී එකිනෙකා හමු වී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. තරග 8ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව සතු වන අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.  

කෙසේ වෙතත් 1996 ලෝක කුසලානයේ දී මෙරට දී පැවති මූලික වටයේ තරගයකට ඕස්ට්‍රේලියාව සහභාගී නොවූ බැවින් එම තරගයේ නිතරග ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිකර දී තිබෙනවා.  

දෙරට ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් තීරණාත්මක තරග ද්විත්වයක් නිමා වී ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ 1996 වසරේ දී පැවති 6 වැනි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි.

එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයග්‍රහණයක් ලබා ගත් අතර එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් දිනා ගත් එක ම අවස්ථාව වනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයක යෙදෙමින් ජයග්‍රහණය කළ එක ම අවස්ථාව ද මෙයයි.   

නැවත වරක් දෙරට ක්‍රීඩකයෝ 2007 වසරේ දී පැවති 9 වැනි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී හමුවන අතර එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඕස්ට්‍රේලියාවට ලකුණු 53ක ජයග්‍රහණයක් හිමි වෙනවා.  

දෙරට කණ්ඩායම් ඉතිහාසය මේ ලෙසින් දැක්වෙද්දී, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙතෙක් සහභාගී වූ තරග ද්විත්වයේ දී, 

  • 345: ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹාගොස් ජයග්‍රහණය කරන්නට පාකිස්තානුවන්ට ද,
  • 428: ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණය දකුණු අප්‍රිකාවට ද,
  • 49: ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශතකය වාර්තා කර ගන්නට දකුණු අප්‍රිකාවේ Aiden Markramට ද,
  • 5: දකුණු අප්‍රිකානුවන්ට ශතක 3ක් ද සහ පාකිස්තානුවන්ට ශතක 2ක් ද බැගින් ශතක 5ක් ලබා ගැනීමට ද පන්දු යවා තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වෙන්නේ මෙරට එක්දින තරග ඉතිහාසයේ 26 වැනි නායකයා සහ 12 වැනි එක්දින ලෝක කුසලාන නායකයා ද ලෙසින් කුසල් මෙන්ඩිස් ක්‍රීඩාංගණයට කැඳවමින් වීම විශේෂත්වයක්. පෙර තරග 2 දී නායකත්වයේ කටයුතු කළ දසුන් ශානක ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් ව ඇති අතර දසුන්ගේ නායකත්වය කුසල් වෙත පැවරී තිබෙනවා.  

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න දසුන්ගෙන් හිස් වන ස්ථානයට නම් කර තිබෙනවා.  

මෙතෙක් නිමා වූ තරග ද්විත්වයේ දී කණ්ඩායමේ පිතිකරුවන් කෙරෙහි තැබූ විශ්වාසය තව දුරටත් එසේ ම පවතිනවා. ඔවුන් නිමා වූ තරග ද්විත්වයේ දී ම තමන් මුහුණ දුන් ඉනිම් නිමා කරන්නේ ලකුණු 300 සීමාවන් පසු කරමින්.

ඊට කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, පැතුම් නිස්සංක සහ දසුන් ශානක දැක්වූ දායකත්වය කදිමයි.  

පෙර තරගයේ දී ආබාධයකට ලක් වූ කුසල්, මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා තිබීම කණ්ඩායමේ වාසනාවක්. එසේ නොවුනා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ලැයිස්තුව ඉහළ යන අතර ක්‍රීඩක පුරප්පාඩුව ද ඉහළ යනවා.  

කණ්ඩායමේ මේ වන විට සිටින වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා වී ඇත්තේ කුසල් මෙන්ඩිස් වන අතර සදීර සමරවික්‍රම ද එම තැනට ළඟා වී සිටීම ද පැසසිය යුතුයි.  

අනෙක් පිතිකරුවන් අතරින් චරිත් අසලංකගෙන් සේ ම පැතුම් නිස්සංකගෙන් බලාපොරොත්තු වෙන්නේ තරග දක්ෂතා දම්වැලක්. එක තරගයක දී ලකුණු අතරට පිවිස අනෙක් තරගයේ දී එම රිද්මය අහිමි කර ගැනීම මෙතෙක් ඔවුන්ගෙන් දකින දුර්වලතාවයක්. එය කණ්ඩායමේ සමබරතාවය ගිලිහී යෑමට කෙරෙන ප්‍රබල බලපෑමක් වන බැවින් එම තත්ත්වය මඟ හැර ගැනීම දෙදෙනාගේ ම යුතුකමක් කර ගත යුතුයි.  

ඊට ධනංජය ද සිල්වාගේ නැගී සිටීමක් ද බලාපොරොත්තු වන අතර කුසල් පෙරේරා ද තම දක්ෂතා කණ්ඩායමට එක් කිරීමට වගබලා ගත යුතුයි. ධනංජය තම අවසන් ඉනිම් 9 නිමා කර තිබෙන්නේ ලකුණු 112ක් පමණක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 12.44ක්. එය බලාපොරොත්තු සහගත පිතිකරුවෙක්ගෙන්, කිසිසේත් ම සෑහීමකට පත් විය හැකි දක්ෂතාවක් නොවේ.   

කුසල් පෙරේරාගේ තත්ත්වය ද ඊට නොදෙවෙනියි. ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කිරීමෙන් අනතුරුව සහභාගී වූ අවසන් ඉනිම් 6 දී ලබා ඇත්තේ ලකුණු 33ක් පමණයි. එහි තරගයක සාමාන්‍ය 5.5ක්. එබැවින් මෙම තරගයේ දී කුසල් පිටියට කැඳවීම ගැන නැවත නැවතත් සිතිය යුතු කාරණයක් බවට පත් ව තිබෙනවා. එසේ වීමට වඩාත් හේතු වන්නේ එම ස්ථානයෙන් පිටියට පිවිසීමට දිමුත් කරුණාරත්න ද බලා සිටින බැවිනුයි. 

පන්දු යවන්නන් අතරින් මෙම තරගයේ දී කසුන් රාජිත නැවත කණ්ඩායමට එක් වීමේ වැඩි ඉඩකඩක් පවතින්වා. ඔහු නිමා වූ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී ප්‍රහාරයට ලක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සිටිය ද, පිතිකරුවෙක් ලෙසින් දැක් වූ දක්ෂතාවන් හී කිසිදු අගය කිරීමක් නොලබමින් දෙවැනි තරගයෙන් ඉවත් කළා. 

එහෙත් මෙම තරගයේ දී මේ වන විට ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයි පැවැසෙන මතීෂ පතිරණ වෙනුවට එක් කෙරෙන සුදුසු ම ආදේශකයා ඔහු විය හැකි.

ඒ කෙසේ වෙතත්, මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ එකඳු තරගයකට හෝ එක් නොවූ ලිහිරු කුමාරගේ නම ද මේ අතරට එක් වෙනවා. කසුන් හෝ ලහිරු කණ්ඩායමට එක් කිරීම ක්‍රීඩාංගණයේ තණතීරූ හැසිරීම මත තීරණය විය හැකි අතර ලහිරු කෙරෙහි වැඩි අවධානය යොමු වන්නේ නම් ඒ වැඩි වේගයකින් පන්දු යැවීමේ වාසිය ලබා ගැනීමට විය හැකි.

මතීෂ පතිරණ නිමා වූ තම ඉනිම් 2 නිමා කරන්නේ පන්දුවාර 20කට ලකුණු 185ක් ලබා දෙමින්. එය නවක ක්‍රීඩකයෙක් ලෙස දරා ගත නොහැකි පහර කෑමක්.  

මතීෂ නොමැති පිටියේ කසුන්ගේ සහායක පන්දු යවන්නා ලෙසින් ඩිල්ශාන් මධුශංක නැවත වරක් මෙම තරගය හා එක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.  

දඟපන්දු යවන්නන් ලෙසින් විශ්වාසය දිනා ඇති මහීෂ් තීක්ෂණ සේ ම දුනිත් වෙල්ලාලගේ ද මෙම තරගයේ දී වඩාත් ප්‍රවේශම්කාරීව දුර්වලතාවන් මඟ හැර ගනිමින් කණ්ඩායමට ඇවැසි සුදුසු දේ කිරීමට වග බලා ගත යුතුයි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා / දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත / ලහිරු කුමාර, ඩිල්ශාන් මධුශංක. 

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සූදානම 

ඕස්ට්‍රේලියා කණ්ඩායම ද මෙම තරගයට සහභාගී වන්නේ තමන් මෙතෙක් මෙම තරගාවලියේ සහභාගී වූ තරග ද්විත්වයෙන් ම පරාජය වෙමින් වන බැවින් ඔවුන් ද වඩාත් සන්නද්ධ ව මෙම තරගයට එක් වනු නියතයි.  

එහි දී, ඔවුන්ට තවමත් පිතිකරණ රිද්මය සොයා ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකාවට වඩාත් වාසි සහගත වී තිබෙනවා. ඔවුන් නිමා වූ තරග ද්විත්වයේ දී දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 177කට ද සහ ඉන්දියාව ඉදිරියේ දී ලකුණු 199කට ද දැවී යනවා.  

එම දුප්පත් ලකුණු පුවරුවවල එක් අර්ධ ශතකයක් හෝ ඇතුළත් වූයේ නැහැ. පළමු තරගය වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ Marnus Labuschagne (46) වන අතර ඉන්දියාව සමඟ පැවති දෙවැනි තරගයේ දී David Warner (41) සහ Steven Smith (46) ජාමේ බේරා ගැනීමේ පිතිකරණයක නිරත වුනා.  

පන්දු යැවීමමේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව Mitchell Starc සහ Glenn Maxwell කඩුලු 2 බැගින් දවා ගන්නා ලද අතර Josh Hazlewood ඉන්දියාවට එරෙහිව ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් වෙනවා.  

ඒ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කොතැනක රැඳ වී ඇත්දැයි විශ්වාස කළ නොහැකි. විශේෂයෙන් ම Mitchell Marsh, David Warner, Steven Smith,  Glenn Maxwell, Mitchell Starc සහ Adam Zampa වැනි ක්‍රීඩකයෝ ලෝක එක්දින පිටියේ දැවැන්තයන් ලෙසයි මේ වෙද්දී සැලකෙන්නේ. ඔවුන් කුමන මොහොතක සක්‍රීය වේදැයි කිසිවෙක්ට පැවසිය නොහැකි.  

එබැවින් ඔවුන් වේලාසනින් ම අඩපණ කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීම වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම: Pat Cummins (නායක), Mitchell Marsh, David Warner, Steven Smith, Marnus Labuschagne, Josh Inglis (කඩුලු රකින්නා), Glenn Maxwell, Marcus Stoinis, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood 

Lucknow, Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර එක්දින තරගවල උපත 2019 වසරේ දී සිදු වුන ද, මේ දක්වා පවත්වා ඇත්තේ තරග 5ක් පමණයි. ඒ අතරින් එක් තරගයක් සඳහා ඕස්ට්‍රේලියාව එක් වී ඇති අතර ඒ මෙවර ලෝක කුසලානයේ ඔවුන් පරාජිත තරග අතරින් දකුණු අප්‍රිකා තරගයයි 

එම තරගයේ දී දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ක් දැවී ලකුණු 311ක් ලබා ගන්නා ලද අතර එය මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඉතිහාසයට එක් වුනා.  

ඕස්ට්‍රේලියාව එම තරගය පරාජය වෙමින් අවසන් කරන ලද අතර ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයට එක් වෙන්නේ තම පළමු තරගය ක්‍රීඩා කිරීම සඳහායි.  

Lucknow අවට කාලගුණ තත්ත්වය තරගයට කිසිදු බලපෑමක් නොකරන බවට පැවසෙන අතර ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය බවක් ද පැවසෙනවා. එමෙන් ම මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට වඩාත් වාසි සහගත බවක් පැවසෙන අතර කාසියේ වාසිය දිනා ගන්නා නායකයා, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ද වැළැක්විය නොහැකි.  

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම් 

  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 5ක් පමණයි.
  • ධනංජය ද සිල්වා: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • Marcus Stoinis: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • Adam Zampa: එක්දින ජාත්‍යන්තර කඩුලු 150ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ ව ඇත්තේ කඩුලු 7ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<