ThePapare.com අනුමාන කරන ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය

1727

එංගලන්තයේ දී සහ වේල්සයේ දී පැවැත්වීමට නියමිත එළඹෙන 2019 ‘ICC’ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත්කිරීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති මොහොතක ThePapare.com අපි තේරීම් කමිටුවේ හිස්වැස්ම දමා ගමිනින් අපගේ මතයට අනුව සංචිතයට ඇතුළත් වීමට වැඩි ඉඩකඩක් ඇති ක්‍රීඩකයින් 15 දෙනා සහ ඔවුන් සමඟ එංගලන්තය බලා පිටත්ව යන අතිරේක ක්‍රීඩකයින් 04 දෙනා අනුමාන කිරීමට තීරණය කළෙමු.

සුපිරි පළාත් සටනෙන් වැඩ පෙන්වූ සුපිරි සංචිතය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය දින 8ක් පුරාවට මහනුවර දී හා දඹුල්ලේ දී පැවැත්වුණු අතර එහි…….

ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් 10 අතරින් පෙනී යන අන්දමට ක්‍රීඩා කරන අවසාන ක්‍රීඩකයින් 11 දෙනා පිළිබඳව කිසිදු අදහසක් නොමැති එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම යි. කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරග 2ට පෙර ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙකේ දී ක්‍රීඩකයින් දක්වන දක්‍ෂතා එම තීරණයට පිටිවහලක් සපයනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවල අස්ථාවරභාවය, දිගින් දිගටම මුහුණ දුන් පරාජ, විශ්වාසය අඩුකම සහ අඛණ්ඩව ඇතිවූ ආබාධ තත්වයන් හේතුවෙන් පසුගිය වසර දෙක පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවල දී කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූයේ නැත.

2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 84කට මුහුණ දී ඇති අතර ඉන් තරග 55ක් පරාජයට පත්වෙද්දී ඔවුන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 23ක් පමණි. ඊට අමතරව එක් තරගයක් ජය-පරාජයකින් තොරව අවසන් වී ඇති අතර තවත් තරග 5ක් තීරණයකින් තොරව අවසන් වී ඇත.

පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කළ එක්දින තරග 20න් තරග 3ක් පමණක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව තිබීම එක්දින තරග තුළ ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයට නිදසුන් සපයයි.

මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන සංචිතය තේරීමේ දී තේරීම් කමිටුවට සහය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (SLC) පසුගිය සතියේ දී කණ්ඩායම් 4 කින් සමන්විත අන්තර් පළාත් එක්දින තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළේය.

නමුත් එහි දී ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා, විශේෂයෙන් පිතිකරුවන් දැක්වූ දක්‍ෂතා එතරම් සතුටුදායක මට්ටමක නොපැවතියේ එහි දී ශතක 3ක් පමණක් වාර්තා වූ නිසාවෙනි. ඒ අනුව තේරීම් කමිටුව මුහුණ දී සිටි ගැටලුවට විසඳුමක් වෙනුවට එම තරගාවලිය හරහා ඔවුන්ව තවත් ගැටලුකාරී තත්වයකට ඇද දැමුණු බව පැවසීමේ වරදක් නොමැත. කුමක් වුවත් කණ්ඩායමක් 4ක් පමණක් ක්‍රීඩා කළ, තරග 4ක් පමණක් පැවැත්වූ දේශීය තරගාවලියක දී ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා පමණක් සැලකිල්ලට ගනිමින් ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වන කණ්ඩායමක් තෝරාගැනීමේ කිසිදු හැකියාවක් නොමැත.

කෙසේ නමුත් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවයන්, කණ්ඩායම් සංයුතිය, අත්දැකීම්, ආබාධ හේතුවෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති හැකියාව සහ තවත් සාධක රාශියක් සැලකිල්ලට ගනිමින් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට පහත ක්‍රීඩකයින් තෝරාගැනීම සුදුසු යැයි ThePapare.com අපි තීරණය කළෙමු.  

ආසියානු කුසලාන ඉතිහාසයේ ජයසූරිය සලකුණ

ආසියාවේ ක්‍රිකට් බලවතුන් තේරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” නමින් එක්දින ක්‍රිකට් තරගාවලියක්……

ඉදිරිපෙළ පිතිකරුවන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පසුගිය කාලය පුරාවට සාර්ථක ආරම්භයන් ලබා ගැනීමට අපොහොසත් වීම සහ ලබා ගන්නා ආරම්භයන් ශතක බවට පරිවර්තනය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමහරක් සුපුරුදු ආරම්භක පිතිකරුවන් වෙනුවට වෙනත් ආදේශක සොයා බලන්නට තේරීම් කමිටුවට සිදුව ඇත.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පසුගිය වසර පුරාවට කණ්ඩායමේ රඳවා ගනිමින් පසුගිය තරගාවලියේ දී කණ්ඩායමේ උපනායකයා ලෙස ද පත්කිරීමට තීරණය කෙරිණ. කෙසේ නමුත් දකුණු අප්‍රිකානු තරගාවලියේ දී මෙන්ම දේශීය අන්තර් පළාත් තරගාවලියේ දී ද ඔහු දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුව සංචිතයට ඇතුළත් නොකරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අනෙක් පසින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දේශීය අන්තර් පළාත් තරගාවලියේ දී ක්‍රීඩා කළ හොඳ ඉනිම් ද්විත්වය හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ද ආරම්භක පිතිකරු ස්ථානය හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් ඇත. ඔහු පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග ක්‍රීඩා කර නැතත් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් ඔහු කණ්ඩායමට ඇතුළත් වීම සුවිශේෂී අවස්ථාවක් වනු නොඅනුමාන ය.

කුසල් ජනිත් පෙරේරා මේ වන විට ආබාධයකට ලක්ව ඇතත් ඔහු ඉන් සුවය ලැබුවහොත් ඔහුව කණ්ඩායමට ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. කණ්ඩායමේ ඉදිරිපෙළ ඔහු දියත් කරන ප්‍රහාරාත්මක පිතිහරඹය සහ කඩුලු රැකීමට ඔහු දක්වන හැකියාව හේතුවෙන් ඔහුට අවිවාදයෙන් කණ්ඩායමේ ස්ථානය හිමි විය යුතුය. ඒ හේතුවෙන් අවදානමක් ඇතත්, ඔහු තරගාවලිය ආරම්භ වීමට පෙර සුව අතර හැරෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තේරීම් කමිටුව ඔහුව සංචිතය සඳහා ඇතුළත් කරනු ඇත.

අවසාන ආරම්භක ස්ථානය සඳහා අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක තරග කරනු ඇත. අවිශ්ක පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දී දැක්වූ දක්‍ෂතා සහ ධනුෂ්ක දේශීය අන්තර් පළාත් තරගාවලියේ දී දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් තේරීම් කමිටුව එහි දී අවිශ්ක තෝරාගනු ඇතැයි අනුමාන කළ හැක.

මැදපෙළ පිතිකරුවන්   

ඕෂධ ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ සැලකිය යුතු දක්‍ෂතා ප්‍රදර්ශනය කළ අතර අසාර්ථක දකුණු අප්‍රිකානු සංචාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු හොඳ සොයාගැනීමක් ලෙස ඒ අනුව ඔහු හඳුනාගත හැක. දේශීය අන්තර් පළාත් තරගාවලියේ දී ඔහු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත් නොබියව පන්දුවට පහර දීමට ඔහු දක්වන දකෂතාවය හේතුවෙන් අනිවාර්යයෙන් ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි විය යුතුය.

දික්වැල්ල සංචිතයෙන් ඉවත් කිරීමට ඇති සම්භාවිතාව නිසා දිනේෂ් චන්දිමාල් නැවතත් සංචිතය කැඳවීමට තේරීම් කමිටුව තීරණය කළ හැක. පසුගිය 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ජාත්‍යන්තර එක්දින ජයග්‍රහණයක් වාර්තා කර ගනිද්දී එම කණ්ඩායම නායකත්වය දැරුවේ චන්දිමාල් ය. ඒ අනුව ඔහුව කණ්ඩායමට ඇතුළත් කරන්නේ නම් ඔහු අංක 3 හෝ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ යුතු අතර කඩුලු රැකීමේ වගකීම් ද දැරිය යුතුය. තේරීම් කමිටුව ලෝක කුසලාන සංචිතය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සොයන පසුබිමක චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් විය යුතු වුවත් ඔහුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය සඳහා ඇතුළත් කරනු ඇත්දැයි තවමත් ගැටලු සහගත ය.  

ලහිරු තිරිමාන්න දේශීය අන්තර් පළාත් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශතකයක් වාර්තා කරගනිමින් තේරීම් කමිටුවේ අවධානය යොමුකර ගන්නට සමත් වුවත් ඔහුව සංචිතයට ඇතුළත් කරන්නේ නම් ඔහුට වඩා ස්ථාවර, ප්‍රහාරාත්මක එක්දින පිතිකරුවෙක් කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ තවදුරටත් කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වාගෙන් සමන්විත විය යුතුය. මැතිව්ස් මැදපෙළ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එකිනෙක කඩා වැටෙන අවස්ථාවන් වලදී එය ශක්තිමත් කිරීමට අතිශය වැදගත් වනු ඇත. ඔහු මේ වන විට සිය ආබාධයෙන් සුවය ලබා ඇති අතර පසුගිය දේශීය අන්තර් පළාත් තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී ශතකයක් ද වාර්තා කරගනිමින් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඔහු දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත් විය.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් යමක් එක් කිරීමට ඇතැම් පිරිස්……..

වේගපන්දු යවන්නන්

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ මෙහෙයවන්නා කවුරුන් වනු ඇත්දැයි යන්න පිළිබඳව කිසිදු සැකයක් තබා ගත යුතු නැත. ඒ අනුව ලසිත් මාලිංග සිය සිව්වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර ඔහුගේ අත්දැකීම් සහ දක්‍ෂතාවයන් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය.

මාලිංගට සහය වීම සඳහා අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද ඔහු එංගලන්ත තණතීරු වල පන්දුව ‘swing’ කිරීමට දක්වන දක්ෂතාවය සැලකිල්ලට ගනිමින් සංචිතයට ඇතුළත් කළ යුතුය. කෙසේ නමුත් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතර පැමිණීමට ඔහුට තරගයක් දීමට සිදුවනු ඇත.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී තරගයක දී පන්දුවාර 6-8ක් පමණ යොමු කිරීමට අපේක්‍ෂිත නිසා ඔහු සිය පන්දු යැවීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔහු සහ ඉසුරු උදාන අවසාන පන්දුවාරවල දී ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හරහා ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ද ශක්තිමත් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.   

අවසාන අතිරේක වේගපන්දු යවන්නාගේ ස්ථානය සඳහා දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් හට තරග කිරීමට සිදු වේ. චමීර මෙන්ම ප්‍රදීප් ද ඔවුන් මුහුණ දී සිටි ආබාධවලින් මේ වන විට සුවය ලබා ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පෙන්වීම සඳහා පසුගිය දේශීය අන්තර් පළාත් තරගාවලියට ක්‍රීඩා කරනු ලැබූහ. කෙසේ නමුත් නුවන් ප්‍රදීප් අභිබවමින් පන්දුවේ වේගය සහ පන්දුව ඉලිප්පීමට චමීර දක්වන දක්ෂතාවය හේතුවෙන් එම ස්ථානය චමීරට හිමි විය යුතුය.

දඟපන්දු යවන්නන්  

නැවත සකස් කර ගනු ලැබූ පන්දු යැවීමේ ඉරියව්ව හරහා අකිල ධනංජය දකුණු අප්‍රිකානු සංචාරයේ දී එතරම් සාර්ථක නොවුනත් ඔහු පන්දු යැවීමේ දී දක්වන විචලනයන් එංගලන්තයේ දී ප්‍රයෝජනවත් විය හැකි නිසා තේරීම් කමිටුව ඔහුව සංචිතය ඇතුළත් කර ගත යුතුය.

කණ්ඩායමේ ‘wrist-spinner’ගේ ස්ථානය සඳහා ජීවන් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ තිදෙනා හට තරග වැදීමට සිදු වේ. මැද භාගයේ පන්දුවාරවල දී ප්‍රතිවාදී පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ඔවුන්ගේ කඩුලු දවා ගැනීමට බොහෝ කණ්ඩායම් ‘wrist-spinner’ පන්දු යවන්නන් මත යැපෙන නමුත් පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

අවස්ථා ගණනාවක දීම සඳකැන් ඔහුට ලබා දුන් අවස්ථාවන් වලින් ප්‍රයෝජන ලබා ගැනීමට සමත් වූයේ නැත. අනෙක් පසින් ජීවන් මෙන්ඩිස්ගේ නැඟී ඒම, විශේෂයෙන් දේශීය අන්තර් පළාත් තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 6ක් දවා ගැනීම හරහා තේරීම් කමිටුවේ අවධානය ඔහු වෙත යොමු වනු ඇත. තවදුරටත් ඔහු ‘Derbyshire’ කණ්ඩායමට ක්‍රීඩා කරමින් එංගලන්තයේ දී ලබා ගත් අත්දැකීම් ද කණ්ඩායමට වැදගත් වන අතර ඒ අනුව වැන්ඩර්සේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ පන්දුවාර 20 තරගවල දී හොඳින් පන්දු යැවීමට සමත් වුවත් ඔහුට ඉදිරියෙන් ජීවන් තෝරාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නායකයා සහ අවසාන වශයෙන්    

කණ්ඩායමේ නායකත්වයට සුදුසුකම් දක්වන ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ දිමුත් කරුණාරත්න අතරින් එක් අයෙක් තෝරාගැනීම තරමක් අපහසු කටයුත්තකි. කෙසේ නමුත් කණ්ඩායමේ නායකයා කවුරුන් වුවත් ඔහුට සිතීමට මෙන්ම සිදු කිරීමට ඇති දේවල් ද බොහෝමය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලිවල දී නොසිතූ දක්‍ෂතා දැක්වීමට සමත් කණ්ඩායමක් වුවත් එංගලන්තයේ දී සහ වේල්සයේ දී ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලී ඔබටත් ඔබගේ මතයට අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුත්තේ කවුද යන්න පිළිබඳව අදහස් දැක්විය හැක.

cwc19.thepapare.com වෙබ් අඩවිය වෙත පිවිස ඔබේ සිංහයන් තෝරන්න.

ලෝක කුසලානය සඳහා යෝජිත ThePapare සංචිතය ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ඕෂධ ප්‍රනාන්දු, අකිල ධනංජය

ලෝක කුසලානය සඳහා යෝජිත අතිරේක ක්‍රීඩකයින් – ධනුෂ්ක ගුණතිලක, නුවන් ප්‍රදීප්, කමිඳු මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

  • ජුනි 01 – නවසීලන්තය – Cardiff
  • ජුනි 04 – ඇෆ්ගනිස්ථානය – Cardiff
  • ජුනි 07 – පාකිස්තානය – Bristol
  • ජුනි 11 – බංග්ලාදේශය – Bristol
  • ජුනි 15 – ඕස්ට්‍රේලියාව the Oval
  • ජුනි 21 – එංගලන්තය – Leeds
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – Chester-Le-Street
  • ජූලි 01 – බටහිර ඉන්දීය කොදෙව් දූපත් – Chester-Le-Street
  • ජූලි 06 – ඉන්දියාව – Leeds

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<