ජයග්‍රහණයක් සොයා නැවත Bengaluru වෙත

ICC World Cup 2023

861
ICC World Cup 2023

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 9 වැනි හෙවත් අවසන් තරගය, හෙට (09) නවසීලන්තය සමඟින් Bengaluru හී Chinnaswamy ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 41 වැනි තරගයයි.

නවසීලන්තය නිමා වූ ආසන්නත ම තරගමාලා ද්විත්වය වූ 2015 සහ 2019 වසරවල අනුශූරයන් බවට පත් ව ඇති අතර 1975, 1979, 1992, 1999, 2007 සහ 2015 යන වසර 6, තරගමාලාවන් හි දී අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වෙනවා.

ඔවුන් මෙවර ද මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 4 වැනි ස්ථානයට එක් වෙමින් ලෝක කුසලාන බලාපොරොත්තු සහගත කණ්ඩායම් අතරට එක් ව සිටිනවා.

ශ්‍රී ලංකාව 1996 වසරේ ලෝක කුසලානයත් සහ 2007 වසරේ දී සහ 2011 වසරේ තරගමාලාවන් හී අනුශූරයන් ලෙසත් අභිශේක ලැබූ අතර 2015 වසරේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙනවා.

නමුත් ශ්‍රී ලංකාව මේ වෙද්දී සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ එල්ලී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

දෙරට එක්දින තරග ඉතිහාසය තරග 101කින් සමන්විත අතර ඉන් තරග 51ක ජයග්‍රහණය නවසීලන්තයත්, තරග 41ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවත් අතර බෙදී තිබෙනවා. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වන අතර අනෙක් තරග 8 අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.

ලෝක කුසලාන තරගවල දී ඔවුනොවුන් මෙතෙක් තරග 11ක දී හමු වී ඇති අතර ඉන් තරග 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව ද සහ තරග 6ක ජයග්‍රහණය නවසීලන්තය ද ලබා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් පැවති එක්දින තරග අතරින් ශ්‍රී ලංකාව අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 2015 වසරේ දී වන අතර නවසීලන්තය මේ වසරේ මාර්තුවේ දී ද ශ්‍රී ලංකාව පරාජය කළ මතකයන් සමඟින් මෙම තරගය හා එක් වෙනවා.

ශ්‍රී ලංකාවේ සූදානම

නැවත නැවතත්, නැවතත් සටහන් තැබීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන වන අවිනිශ්චිතභාවය ගැනයි. ඔවුන් නිමා වූ තරගවල දී දැක්වූ දක්ෂතා බැලූ බැල්මට ම පෙනෙන්නේ පංගු පේරුවට තරගයෙන් තරගයට කළ දක්ෂතා ලෙසයි.

මේ පිළිවෙතින් යම් තරමකට හෝ දුරස් ව ඇත්තේ පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම පමණයි. මේ වන විට මෙරට වෙනුවෙන් වැඩිම ලකුණු ලබා සිටින සදීර සමරවික්‍රමගේ ලකුණු ලබා ගැනීමේ පෙළ ගැස්ම වෙන්නේ 23, 108, 8, 91*, 65*, 36, 0 සහ 41ක් ලෙසයි. ඔහු තරග 8ක ඉනිම් 8ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 363ක්. එහි සාමාන්‍ය 62.00ක් ලෙසින් ඉහළ අගයක රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

පැතුම් නිස්සංකගේ ලකුණු පෙරහැර ලැයිස්තුගත වෙන්නේ 0, 51, 61, 54, 77*, 46, 0 සහ 41ක් ලෙසයි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.14ක් ලෙසින් පවත්වාගෙන යන පැතුම් මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 330ක්.

පෙර තරගයේ දී සටන්කාමී ඉනිමක නිරත වූ චරිත් අසලංක මේ වෙද්දී තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 280ක් ලබා ඇති අතර ඔහු මේ රිද්මය මෙම තරගයේ දී පවත්වාගෙන යන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වාසි සහගත විය හැකි.

ලකුණු 288ක් ලබා සිටින නායක කුසල් මෙන්ඩිස් මේ වන විට නායකයෙක් සේ ම පිතිකරුවෙක් ලෙසින් ද අසාර්ථක වී සිටිනවා. ඔහු නිමා වූ ඉනිම් 6ක ලකුණු 20 ඉක්මවා ලබා ඇත්තේ එක් අවස්ථාවක පමණයි.

එමෙන් ම ධනංජය ද සිල්වාගේ ඉනිම් 7, ලකුණු 20කට වැඩියෙන් ඇත්තේ තරග 3ක පමණයි. එහි ද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නිමා වූ බංග්ලාදේශ තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 34යි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා පැටිකිරිය එලෙසින් එළියට පැමිණෙද්දී පන්දු යවන්නන්ගේ බලඇණිය ඊටත් වඩා දුර්වල මට්ටමේ සිටීම වඩාත් ශෝචනීයයි.

මේ වෙද්දී මෙවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළ කිහිප දෙනා අතරට එක් ව සිටින ඩිල්ශාන් මධුශංකට සහායක පන්දු යවන්නෙක් නොමැති වීමයි වඩාත් අඩු-පාඩුව වී ඇත්තේ.

කණ්ඩායමට අලුතෙන් ම එක් වූ දුෂ්මන්ත චමීර මෙන් ම දඟපන්දු යවන්නන් අතරින් වඩාත් බලාපොරොත්තු තබා සිටි මහීෂ් තීක්ෂණගෙන් ද කණ්ඩායමට වැදගත් සේවයක් ඉටු නොවීම මේ කඩා වැටීමට හේතු වී තිබෙනවා.

මේ අඩු-වැඩියත් සමඟින් හෙට තරගයට නම් කරන කණ්ඩායම ගැන සිතීම පවා කණ්ඩායම් බලධාරීන්ට අමුතුවෙන් මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්නයක් වී ඇතිවාට කිසිඳු සැකයක් නැහැ. එවන් තත්ත්වයක් හමුවේ හෙට තරගයේ දී නම් කෙරෙන කණ්ඩායම ගැන පැවැසීම ද නිශ්ඵල උත්සාහයක් විය හැකියි. එසේ වූවත් අපගේ තේරීම නම් බොහෝ විට පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයේ දී ද පිටියට පිවිසෙනු ඇති බවයි.

නවසීලන්තයට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා. මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක.

නවසීලන්තය මෙම තරගයට එක් වෙන්නේ නිමා වූ ආසන්නත ම තරගයේ දී අනපේක්ෂිත අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙමිනුයි. පාකිස්තානය සමඟ පැවති එම තරගයේ දී නවසීලන්තය කඩුලු 6කට ලකුණු 401ක් රැස් කරමින් වාර්තා කිහිපයක් ම සමඟින් අවසන් කළ ද පෙරලා පැමිණි ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන්ගෙන් ජයග්‍රහණය පාකිස්තානය උදුරා ගත්තා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී පාකිස්තානය පන්දුවාර 25.3ක දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200ක් ලබා සිටි අතර ඔවුන් ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය කරන්නේ තවත් ලකුණු 21ක් ද අත තබා ගනිමිනුයි.

පාකිස්තානය වැනි එවැනි සටන්කාමි ඉනිමක් ඔවුන් කිසි විටෙක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වේ යැයි සිතිය නොහැකි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වඩාත් අවධානය ලබා දිය යුතු නවසීලන්ත ක්‍රීඩකයා වන්නේ 23 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු Rachin Ravindra වෙතයි. ඔහු අවසන් තරගයේ දී ලැබූ ශතකයත් සමඟින් මෙවර ලෝක කුසලානයේ දී තරග 8කට සහභාගී වෙමින් ශතක 3ක් සමඟින් ලකුණු 523ක් ලබා තිබෙනවා. එය මෙවර ලෝක කුසලානයේ පිතිකරුවන්ගේ දක්ෂතා ලැයිස්තුගත කිරීමේ දී තෙවැනියට වන දක්ෂතාවයි.

ඊට අමතරව Daryl Mitchell ද කණ්ඩායමේ සිටින වඩාත් විශ්වාසවන්ත පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලබා තිබෙනවා. ඔහු මෙවර තරගාවලියේ තරග 8ක ඉනිම 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛයාව 375ක්.

ඊට අමතරව Devon Conway ලකුණු 314ක් ලබා ගනිමින් ද සහ Glenn Phillips ලකුණු 227ක් ලබා ගනිමින් ද නවසීලන්ත ඉදිරිපෙළ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටිනවා.

කඩුලු ලබා ගැනීමේ දී නවසීලන්තය වෙනුවෙන් වඩාත් දක්ෂතා දක්වා ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන Mitchell Santner. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 14ක්.

ඊට අමතරව දකුණතින් වේගපන්දු යවන Matt Henry කඩුලු 11ක් ලබා ගනිමින් නවසීලන්ත පන්දු බලඇණිය ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටිනවා.

මේ දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකාව හා සමඟ තරගයට, පාකිස්තානය සමඟ වූ පෙර තරගයට ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ම නම් කරනු ඇතැයි සිතිය හැකි‍.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන නවසීලන්ත කණ්ඩායම: Kane Williamson (නායක), Devon Conway, Rachin Ravindra, Daryl Mitchell, Mark Chapman, Glenn Phillips, Mitchell Santner, Tom Latham (කඩුලු රකින්නා), Ish Sodhi, Tim Southee, Trent Boult.

Bengaluru හී Chinnaswamy stadium

මෙවර ලෝක කුසලානයේ දී මෙම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග වදින දෙවැනි තරගයයි මේ. මීට පෙර පැවති එංගලන්තය හා සමඟ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

එම තරගය අඩු ලකුණුවලට සීමා වූව ද, බොහෝ විට එය හැඳින්වෙන්නේ ලකුණු ඇති ක්‍රීඩාංගණයක් ලෙසයි. එබැවින් ඒ ගැන අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වන අතර මේ වෙද්දී පවතින කාලගුණ තත්ත්වය ගැන ද සැලකිලිමත් වීම වඩාත් වැදගත් වෙනවා.

එරට කාලගුණ වාර්තා මගින් දැක්වෙන්නේ තරගය පැවැත්වෙන කාලයේ දී, ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා වීමේ  අවධානමක් පවතින බවයි.

දෙරට ක්‍රීඩකයන්ට මෙම තරගයේ දී එළඹිය හැකි කඩඉම්

  • සදීර සමරවික්‍රම: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 13ක් පමණයි.
  • ඇන්ජලෝ මැතිව්ස්: එක්දින ජාත්‍යන්තර ලකුණු 6000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 100ක් පමණයි.
  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුල්ලක් පමණයි.
  • ධනංජය ද සිල්වා: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • කසුන් රාජිත: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
  • චරිත් අසලංක: ඔහු මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නම් එය ඔහුගේ 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි.
  • ඩිල්ශාන් මධුශංක: එක් ලෝක කුසලානයක දී වැඩිම කඩුලු ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ සමව අසුන් ගැනීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 2ක් පමණයි.

මෙහි වාර්තාව හිමි ව ඇත්තේ 2003 ලෝක කුසලානයේ දී කඩුලු 23ක් ලබා ගත් චමින්ද වාස් සතුවයි.

  • Tom Latham: එක්දින ජාත්‍යන්තර ලකුණු 4000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 50ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<