සාන්ත අන්තෝනි විද්‍යාලයට එරංගගෙන් අර්ධ ශතකයක්

440
Singer U19 Schools Cricket

වර්ෂාවෙන් එල්ල වන බාධා හමුවේ නොසැලී පැවැත්වෙන සිංගර් අන්තර් පාසල් පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (30) ආරම්භ විය. දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ එරංග මදුෂාන් සමත් වූ අතර , ඔහු ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.

ගුරුකුලට දැවන්ත ජයක්

පාසල් ක්‍රිකට් තරු සොයා යන සිංගර් අන්තර් පාසල් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය අද (29) සාන්ත ආනා පිටියේදී සාර්ථක නිමාවූයේ, ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

කොළඹ නාලන්ද විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලෙස නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමේ ලකුණු පුවරුව දිස්වූ අතර තරගයේ කාසියේ වාසිය සාන්ත අන්තෝනි විද්‍යාලය සතුවිය.

කාසියේ වාසිය ද සමඟින් පළමුව පිටියට පැමිණි අන්තෝනි ක්‍රීඩකයින් තම පළමු ඉණිම සඳහා ලකුණු 191ක් රැස් කරන්නේ එරංග මදුෂාන්ගේ අර්ධ ශතකයද අඩිතාලමක් කොටගෙනයි. අවිශ්ක තරිදු, එරංග සමඟින් එක්ව සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඉණිම යම්තාක් දුරකට ස්ථාවර කරවිය. පන්දු යැවීමේ දී කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසේල කුලතුංග ලකුණු 34ක් තුල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 66.5): එරංග මදුෂාන් 59, අවිශ්ක තරිදු 33, රුක්ෂාන් රොද්‍රිගෝ 22, අසේල කුලතුංග 4/34, ලක්ෂිත රසාංජන 2/38, දසුන් සෙනෙවිරත්න 2/30

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 27 (පන්දුවාර 9):

කොළඹ නාලන්ද විද්‍යාලය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 164ක් පසුපසින් පසුවෙයි


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

කොළඹ බී.ආර්.සී. පිටියේදී ආරම්භය ලබා ගත් මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල මොරටුව වේල්ස් කුමර නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කලද, දිනය අවසානයේ ලකුණු පුවරුව බලන විට එම තීරණය වේල්ස් කුමර විද්‍යාලයට එතරම් හිතකර තීරණයක් නොවූ බව පැහැදිලිය.

දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට වේල්ස් කුමර පිතිකරුවන් සමත් වුවද, එය ඉතාමත් අසීරුවෙන් ගොඩනැංවුනු ඉණිමක් බවට පත්වූයේ ලුම්බිණි විද්‍යාලයේ විමුක්ති කුලතුංගගේ සුපිරි පන්දු යැවීම නිසාවෙනි. නමුත් එම පීඩනය හමුවේ යම් ස්ථාවරත්වයකට පැමිණි අවිදු ප්‍රනාන්දු ඉවසිල්ලෙන් යුතුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ලකුණු 27ක් ලබා ගන්නා ලදි.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 94 (පන්දුවාර 58.2): අවිදු ප්‍රනාන්දු 27, විමුක්ති කුලතුංග 4/31, තානුක දාබරේ 3/17


මොරටු විද්‍යාලය හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය දිනාගත් සත්කාරක මොරටු විද්‍යාලයේ නායකයා තම සුපුරුදු තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලබාදෙන ලදි.

ඩී.එස්. සේනානායක විද්‍යාලය මොරටු විද්‍යාලයේ තණතීරුව හොදින් අධ්‍යයනය කර ඇති බවක් පෙනෙන්නට තිබූ මෙම තරගයේ සාර්ථක සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවීමට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් සමත් විය. දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 103ක් ලබාගෙන සිටින්නේ ඉතා හොඳ පළමු ඉණිමේ ලකුණු පුවරුවක් දිස්කරන බවට ඉඟි පහළ කරවමිනි.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 103 (පන්දුවාර 31):

මෙම තරග සියල්ලන්ම හෙට (31) දෙවන හා අවසන් දිනයට පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට