අධිරාජ්‍යවාදීන්ගේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව

ICC World Cup 2023

272
ICC World Cup 2023

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 5 වැනි තරගය, එංගලන්තය සමඟින් හෙට (26) Bengaluru හී M. Chinnaswamy ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගයයි. ශ්‍රී ලංකාව මේ වෙද්දී නිමා වූ තරග 4ක දී ජයග්‍රහණය කර තිබෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමඟ තරගයේ දී පමණක් වන අතර එංගලන්තය ද තරග 4කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ලබා ඇත්තේ බංග්ලාදේශය සමඟ තරගය පමණයි.

ඒ අනුව සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ ද, එංගලන්තය 8 වැනි ස්ථානයේ ද සිටිමින් මෙම තරගය හා එක් වීමට නියමිතයි.

දෙරට තරග ඉතිහාසයේ දී මේ දක්වා තරග 78ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 36ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගනිද්දී එංගලන්තය තරග 36ක ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර තවත් තරග 3ක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.

දෙරට ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා ඔවුනොවුන් තරග 11කට සහභාගී වී ඇති අතර ඉන් තරග 6ක් එංගලන්තය ජයග්‍රහණය කරද්දී, ශ්‍රී ලංකාව තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගමාලා තුළ එංගලන්තයට 2007 වසරේ සිට පැවති තරගාවලි 4ක දී  ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට ලැබී නැහැ.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (ආබාධයකින් එළියට- ඒ වෙනුවට චාමික කරුණාරත්න) කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ (ආබාධයකින් එළියට – ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස්)

එංගලන්ත සංචිතය: Jos Buttler (නායක), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Harry Brook, Ben Stokes, Reece Topley (ආබාධයකින් එළියට- ඒ වෙනුවට Brydon Carse), David Willey, Mark Wood, Chris Woakes.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ ආසන්නත ම තරගයේ දී ලත් ජයග්‍රහණයේ උණුසුමත් සමඟිනුයි. නමුත් මෙය ද එතරම් ම උඩ දැමිය හැකි ජයග්‍රහණයක් ලෙසින් සැලකිය නොහැකි.

එසේ වන්නේ නෙදර්ලන්තය අපිට එරෙහිව ලකුණු 262ක් ලබා ගන්නා ලද අතර අපට එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවසන් පන්දු 10 දක්වා ම සටන් කිරීමට සිදු වීම නිසයි. එහි දී නෙදර්ලන්තය අපිට එරෙහිව වාර්තා කරන්නේ මෙම තරගාවලියේ දී ඔවුන් විසින් මෙතෙක් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත් එම තරගයේ දී සදීර සමරවික්‍රම (91*), පැතුම් නිස්සංක (54), චරිත් අසලංක (44) සහ ධනංජය ද සිල්වා (30) ලකුණු අතර සිටිමින් කළ මෙහෙය ප්‍රශංසනීය වන්නා සේ ම එය ඉදිරි තරගවල දී ද දැක බලා ගැනීම අපගේ එක ම බලාපොරොත්තුවයි.

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වන ඩිල්ශාන් මධුශංක (4/49) සහ කසුන් රාජිත (4/50) කාලෙකට පසු සාර්ථක කඩුලු දඩයක්කරුවන් බවට පත් වීම ද අගය කළ යුතුයි.

නමුත් සිදු වෙන්නේ මේ දක්ෂතා දිගින් දිගට ම පවත්වා ගැනීමට මේ කිසිවෙකුත් සමත් නොවීමයි. සෑම කෙනෙක්ට ම සෑම විටක දී ම ලකුණු අතර හෝ කඩුලු අතර සිටීමට හැකියාවක් නැහැ. නමුත් වෘත්තීය ක්‍රීඩකයන් ලෙසින් ඔවුන්ගේ සේවය පවතින්නේ කුමන මට්ටමේක ද යන්න ක්‍රිකට් නරඹන ඕනෑ ම කෙනෙක්ට වටහා ගත හැකි. ඒ තත්ත්වය මතු කළේ වෙනත් කවුරුන්වත් නොවේ ඔවුන්මයි. එබැවින් එම තත්ත්වයෙන් ගැලවීමේ මං සෙවිය යුත්තෝ ද ඔවුන්මයි.

කෙසේ වෙතත් තරගාවලියෙන් ඉවත් කරන ලද ආබාධිත බවට පත් වේගපන්දු යැවූ මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මැතිව්ස් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 221කට සහභාගී වෙමින් ලකුණු 5865ක් සහ කඩුලු 120ක් ලබා තිබෙන ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ මෑත කාලීන එක්දින ජාත්‍යන්තර පිටියේ දක්ෂතා සම්බන්ධයෙන් නම් සෑහීමකට පත්විය නොහැකි. ඔහු විසින් 2020, 2021 සහ 2023 වසරවල ක්‍රීඩා කරන ලද අවසන් එක්දින ඉනිම් 5 එකතුව වන්නේ ලකුණු 47ක් පමණයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත, ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් කළ ද, ඔහු මෙම තරගයේ දී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන කණ්ඩායමට ඇතුළත් වේ යැයි සිතිය නොහැකි.

යම් විදිහකින් එවැනි තීරණයක් තේරීම් කමිටුව මඟින් ගනු ලබන්නේ නම් වේගපන්දු යැවූ චාමික කරුණාරත්නට තම ස්ථානය අහිමි වේ යැයි අනුමාන කළ හැකි. එසේ වුවහොත් මැතිව්ස් 2011, 2015, 2019 සහ 2023 වසරවල පැවති ලෝක කුසලාන තරගමාලා 4කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක් ලෙසින් ඉතිහාසයට එක් විය හැකි.

මෙම කාරණාවට අමතරව මෙම කණ්ඩායමේ සංයුතිය විමසා බැලීමේ දී මෙම තරගයේ දී බොහෝ විට දුශාන් හේමන්ත වෙනුවට දුනිත් වෙල්ලාලගේ නම් කළ හැකි බවක් ද සිතේ.

එංගලන්තයට එරෙහිව තරගයට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුශාන් හේමන්ත/ දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න/ ඇන්ජලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක.

එංගලන්ත කණ්ඩායමේ සූදානම

එංගලන්තය මෙම තරගයට එක් වෙන්නේ මෙවර තරගාවලියේ ආසන්නත ම තරග ද්විත්වය පරාජය වෙමින් සහ මේ දක්වා වන ප්‍රසාද ලකුණු පුවරුවේ 9 වැනි ස්ථානයට පත් වෙමිනුයි. එබැවින් ඔවුන් මෙම තරගයේ දී තම ප්‍රතිවාදීන් පාලනය කිරීමට හැකි සෑම උපක්‍රමයක් ම අනුගමනය කරනු නියතයි.

නමුත් ඔවුන්ගේ තරග නිමාවන් පවතින්නේ එතරම් ම තරගකාරී මට්ටමේ නොවේ. පිතිකරුවෝ සේ ම පන්දු යවන්නෝ ද තවමත් සිටින්නේ ලකුණු සහ කඩුලු සොයන මට්ටමේ බැවින් එහි වාසිය ප්‍රතිවාදීන්ට අත්වීමේ වැඩි ප්‍රවනතාවක් පවතිනවා.

එංගලන්ත පන්දු යවන්නෝ තරගාවලියේ අවසන් වරට නිමා කළ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී දැවැන්ත ප්‍රහාරයකට ලක් වන අතර එය හඹා යෑමේ දී පිතිකරුවන්ගෙන් ද සැලකිය යුතු මට්ටමේ සේවයක් සැලසුණේ නැහැ.

දකුණු අප්‍රිකානුවෝ එම තරගයේ දී එංගලන්තයට ලබා දුන් ලකුණු 400ක හඹා යන ඉලක්කයක් පසුපස යෑමේ දී ඔවුන්ගේ පිතිකරුවන් 8 දෙනෙක් ලකුණු 100ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට ගාල් වුනා. ඒ අනුව ලැබීමට නියමිතව තිබූ නියත පරාජයේ පරතරය අඩු කර ගත්තේ Gus Atkinson (35) සහ Mark Wood (43*). ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් ගොඩ නගනවා.

ඒ අනුව මේ වෙද්දී එංගලන්ත පන්දු යවන්නන් සේ ම පිතිකරුවෝ ද වැටී ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකටයි. එබැවින් ඔවුන් මෙම තරගයේ දී පන්දු යවන්නන් ගැන සේ ම පිතිකරුවන් නම් කිරීමේ දී ද වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතිය හැකි.

කෙසේ වෙතත් පෙර තරගයේ දී ආබාධයක් නිසා පිතිකරණයට නොපිවිසී Reece Topley තරගාවලියෙන් ද විවේක ගන්වනු ලැබීම හේතුවෙන් ඔහු වෙනුවට, මේ වන විට එක්දින ජාත්‍යන්තර ලකුණු 1427ක් සහ කඩුලු 165ක් ලබා සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Chris Woakes කණ්ඩායමට එක් කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන එංගලන්ත කණ්ඩායම: Jos Buttler (නායක සහ කඩුලු රකින්නා), Jonny Bairstow, Dawid Malan, Joe Root, Ben Stokes, Harry Brook, Chris Woakes, David Willey, Adil Rashid, Gus Atkinson, Mark Wood.

Bengaluru, M. Chinnaswamy ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

1982 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයකින් ජාත්‍යන්තර එක්දින තරග සඳහා විවෘත වූ Bengaluru හී M. Chinnaswamy ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ දක්වා පවත්වා ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 27ක් පමණයි.

ඒ අතරින් ශ්‍රී ලංකාව සහභාගී වී ඇත්තේ ක්‍රීඩාංගණයේ මංගල තරගයට පමණයි. එම තරගයෙන් ද ඔවුන්ට කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් එංගලන්තය මෙම ක්‍රීඩාංගණයේ දී මේ දක්වා තරග 5කට සහභාගී වී ඇති අතර ඉන් තරග 2ක් ජයග්‍රහණය කරමින්, තරග 2ක් පරාජය වෙමින් සහ තරගයක් ලකුණු සම කිරීමෙන් නිමා කර තිබෙනවා.

මෙම තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වෙන දෙවැනි තරගයයි. ඊට පෙර ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය මෙම ක්‍රීඩාංගණයේ දී පැවති අතර දෙපිලේ ම ක්‍රීඩකයෝ ලකුණු 300ක් ඉක්මවා ලබා ගැනිම කැපී පෙනුණා.

ඒ නිසා ම පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතිල්ලක් ලෙසින් වර්ගීකරණය ලද මෙම ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීම වඩාත් යෝග්‍ය විය හැකියි.

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්

  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • ධනංජය ද සිල්වා: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • Jos Buttler: එක්දින ජාත්‍යන්තර ලකුණු 5000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 90ක් පමණයි.
  • Joe Root: එක්දින ලෝක කුසලානලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 70ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<