වත්මන් ලෝක ශූරයින් අඩියට ම වැටෙයි!

ICC Cricket World Cup 2023

4089

මේ වන විට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල් 10 ම තරග හතර බැගින් ක්‍රීඩා කර අවසන්. 

ඒ අනුව මෙතෙක් තරගාවලි ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රහණය කළ නවසීලන්තය විසින් සමත් වී ඇත්තේ ලකුණු 8ක් සමඟයි. එමෙන්ම මෙහි දෙවැනි ස්ථානයේ පසු වන ඉන්දියාව ද සිය තරග සියල්ල ම ජයග්‍රහණය කර ඇති නමුත් දල ලකුණු වේගය නිසා නවසීලන්තයට පසුපසින් දෙවැනි ස්ථානයේ රැඳෙනවා. 

මෙම කණ්ඩායම් ද්විත්වය අද (22) දිනයේ දී තරග වැදීමට නියමිත අතර, එමගින් මෙම කණ්ඩායම් ද්විත්වයෙන් එකක මෙතෙක් අපරාජිත ගමන නිමා වනු ඇති. 

මේ අතර ඊයේ (21) දිනයේ දී එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 229ක දැවැන්ත ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකාව තරගාවලියේ ඉහළම දළ ලකුණු වේගයත් සමඟින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ ලද පරාජයෙන් වැඩිම බලපෑම එල්ල වුනේ එංගලන්ත කණ්ඩායමටයි. මෙම පරාජයත් සමඟ -1.248ක දල ලකුණු වේගයක් සමඟ එංගලන්තය ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඇද වැටුණා. මේ අනුව වත්මන් ලෝක ශූරයින් ලෙස තරගාවලියට පිවිසුණු එංගලන්තයේ මෙවර ලෝක කුසලාන ඉදිරි ගමන පිළිබඳ යම් සැකය සංකා මතු වී තිබෙනවා. 

මේ අතර ඊයේ දිනයේ දී නෙදර්ලන්තයට එරෙහිව තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු සටහනේ එංගලන්තයට ඉහළින් රැඳෙමින් 8 වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත අතර (26 වැනිදා) එම තරගය මෙම කණ්ඩායම් ද්විත්වයේ ලෝක කුසලානය ගමන් මග වෙනුවෙන් විශාල දායකත්වයක් සපයනු ඇති.

මේ අතර තරගාවලියේ තමන් ක්‍රීඩා කළ පළමු තරග දෙක ම පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව නැවත අළු ගසා දමමින් ඉතිරි තරග ද්විත්වය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මේ වන විට ඔවුන් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තියුණු සටනක් නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්. හෙට (23) පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන – පාකිස්තාන තරගයේ තීරණය අනුව පාකිස්තානයට ලකුණු සටහනේ මුල් ස්ථාන හතර අතරට පැමිණීමට හැකි වීම මෙන්ම, දැනට ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳෙන ඇෆ්ගනිස්තානයේ අනාගතය ද තීරණය වනු ඇති.

එමෙන්ම එළඹෙන 24 වැනිදා බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව ගැටීමට නියමිත අතර, මෙම තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශයට හැකි වුවහොත් ඔවුන් ද ඕස්ට්‍රේලියාව සමඟ ලකුණු සටහනේ සිව් වැනි ස්ථානය වෙනුවෙන් සටනට අවතීර්ණ වනු ඇති.

මේ අතර තරගාවලියේ තරග 20ක් අවසන් වී ඇති මොහොතේ මෙතෙක් තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා ලෙස පාකිස්තානයේ Mohammad Rizwan (ලකුණු 294) සිය නම සටහන් කර ගැනීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ සදීර සමරවික්‍රම ලකුණු 230ක් සමඟින් මෙහි හයවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර මෙතෙක් තරගාවලියේ ඉහළම කඩුලු ලාභීන් බවට පත් වීමට නවසීලන්තයේ Mitchell Santner සහ ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මදුශංක (කඩුලු 11 බැගින් දවා ගනිමින්) සමත් වී තිබෙනවා. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<