හංසිමා, හෂිනි සහ හර්ෂිතා අර්ධ ශතක රැස් කරයි 

68

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (27) දින පැවති පළමු වටයේ අවසන් තරගවල දී හංසිමා කරුණාරත්න, හෂිනි පෙරේරා සහ හර්ෂිතා මාධවී අර්ධ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවන් බවට පත් වූහ. 

චමරි සහ ඩිලානි අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද…

මෙම තරග කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. 

ගාල්ල සහ දඹුල්ල අතර තරගය 

පෙරවරුවේ පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනාගත් ගාලු ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගනිමින් පිටියට පිවිසිය ද ඔවුන්ට කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. 

එම ඉනිම වෙනුවෙන් අනූෂා සංජීවනී පන්දු 45ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් වූවාය. ඇයට අමතරව ටිලිෂීයා චතුරංගි පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 18ක් රැස්කර ගත්තාය.  

පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 14කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩිකාවෝ තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලකක්කය පසු කළේ කඩුලු 3ක් ද අතැතිවය. එම ඉනිම වෙනුවෙන් හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත් වෙමින් ජයග්‍රහණයේ පෙර ගමන්කාරිනිය වූවාය. ඇය තම ඉනිමට පන්දු 54ක් වැය කළ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.  

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදිනී ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.  

මෙම තරගයේ දී දෙපිලේම කඩුලු 8ක් දුවද්දී දැවීයෑම් වලට හසුවූ අතර එය ලෝභ නොමැතිව දෙපිලේ ක්‍රීඩිකාවෝ සමසේ බෙදා ගත්හ. 

Team ගාල්ල : කඩුලු 7ක් දැවී 105 (20) අනුෂා සංජීවනී 44, ට්‍රිලිෂියා චතුරංගි 18, ශෂිකලා සිරිවර්ධන 2/14. 

Team දඹුල්ල : කඩුලු 7ක් දැවී 106 (19.3) හංසිමා කරුණාරත්න නොදැවී 64, නිලූකා කුෂාන්ති 10, උදේශිකා ප්‍රබෝදිනී 2/15. 

හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…


කොළඹ සහ මහනුවර අතර තරගය 

පස්වරුවේ පැවති මෙම තරගයෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනාගත් කොළඹ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබාගත් අතර ඒ අනුව පිටියට පිවිසි කොළඹ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 114ක් පමණි. 

කොළඹ ඉනිම වෙනුවෙන් හසිනි පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් රැස්කර ගත් අතර පෙර තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ ඩිලානි මනෝදරා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තාය. 

Photos: Women’s T20 Super Provincial Tournament 2019/20 | Colombo vs Kandy

ඉනිම අවසන් වනවිට නායිකා ඕෂදී රණසිංහ පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත් විය.  

මහනුවර කණ්ඩායමේ පිළිතුරු ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූයේ නායිකා හර්ෂිතා මාධවී ය. ඇය මෙම තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය අද දින වාර්තා කිරීමට සමත් වූවාය. පන්දු 41කින් සමන්විත වූ ඇයගේ ඉනිම හතරේ පහර 7කින් සමන්විත වූ ලකුණු 52කි. ඊට අමතරව කවිෂා දිල්හාරි පන්දු 16ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් රැස්කර ගත්තාය. 

කඩුලු ලබා ගැනීමේ දී සඳුනි නිසංසලා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.  

පළාත් කාන්තා මංගල දිනය අවාසනාවන්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මංගල දිනය…

Team කොළඹ : කඩුලු 4ක් දැවී 163 (20) හසිනි පෙරේරා 60, ඩිලානි මනෝදරා 45, ඕෂදී රණසිංහ නොදැවී 33, තාරුකා ෂෙහානි 1/12. 

Team මහනුවර : සියලු දෙනා දැවී 114 (19.5) හර්ෂිතා මාධවී 52, කවිෂා දිල්හාරි 16, සඳුනි නිසංසලා 3/16, අමා කාංචනා 2/15, ඕෂදී රණසිංහ 2/19. 

අද දින නිමා වූ තරග සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර අවසාන මහා තරගය සඳහා දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තේය. එම තරගය මෙම මස 29 වනදා මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<