දියාරු පන්දු රැකීම ඉන්දියාවේ ජයග්‍රහණයට පාර කපයි

333

මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අද (05) පැවැත්වූ තරගය ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය එංගලන්තයේ, ඩර්බි නුවර, කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා කාන්තාවන්ට එංගලන්තයෙනුත් ප්‍රහාරයක්

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය අද (2) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ..

මෙම තරගය, තරගාවලියේ 14වන තරගය විය. මෙහි කාසියේ වාසිය ඉන්දීය කාන්තා කණ්ඩායම සතු වූ අතර ඒ අනුව කණ්ඩායම් නායිකා මිතාලි රාජ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පළමුව පිටියට අවතීර්ණ වූ ස්මර්තී මන්ධානා හා පුන්මා රවුට් පළමු කඩුලු සඳහා ලකුණු 21ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූහ. එම සබඳතාවය අවසන් කරමින්, ලකුණු 8ක් ලබා සිටි මන්ධානා පිටියෙන් ඉවත් කිරීමට චන්දිමා ගුණරත්න සමත් වූවාය.

ඇයගේ දැවී යාමට පසුව පිටියට පැමිණි වමත් පිතිකාරිනියක් වන දීප්ති ශර්මා හා පුන්මා රවුට් පන්දුවාර 11ක් අවසානයේ, ඉන්දීය කණ්ඩායම ලකුණු 38ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. අනතුරුව පිටියට අවතීර්ණ වූ ඉන්දීය කණ්ඩායම් නායිකා මිතාලි හා එක් වූ ශර්මා තෙවන කඩුල්ල සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සාර්ථක ඉනිමක් ගොඩනැංවූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දියාරු පන්දු රැකීම එම සබඳතාවයේ ආයු කාලය වර්ධනය කිරීමට කිහිප වරක්ම දායක විය.

කෙසේ නමුත් මිතාලි හා ශර්මා යන දෙපළම අර්ධ ශතක ලබාගෙන, ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 36යි පන්දු 5ක් අවසානයේ ලකුණු 156ක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. එහි දී තම සයවන අර්ධ ශතකය වාර්තා කර ගත් ශර්මා, පන්දු 110ක දී ලකුණු 78ක් රැස්කර ගත්තේ, 4 පහර 10ක් තම ඉනිමට අන්තර්ගත කරවමිනි.

අමා කාංචනා විසින් එවූ පන්දුවකට මිඩ් ඕෆ් කලාපයේ සිටි ඉනෝකා රණවීර අතට උඩ පන්දුවක් ලබා දෙමින් ශර්මා දැවී ගියත්, ඒ වන විටත් ඔවුන් දෙපල තෙවන කඩුල්ල සඳහා ලකුණු 118ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවා අවසන්ව තිබුණි.

ඉන් පන්දුවාර කිහිපයකට පසුව අනෙක් අන්තයෙන් ඉනිම සවිබල ගැන්වූ මිතාලිව දවා ගැනීමට රණවීර සමත් වූවාය. ඒ වන විට මිතාලි 4 පහර 4ක් සමඟින් ලකුණු 53ක් ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තේ, පන්දු 78ක් පමණක් වැය කරමිනි. ඇය අද වාර්තා කරගත්තේ සිය 48 වැනි අර්ධ ශතකයයි.

ඉන්දීය කණ්ඩායම අවසන් පන්දුවාර 13 තුල ලකුණු 76ක් ලබා ගත්තේ, අවසන් පන්දුවාර කිහිපය තුල තරමක ප්‍රහාරාත්මක පිතිකරණයකට අනුවර්තනය වෙමිනි. ඒ සඳහා ඉන්දීය පසුපෙළ සවිමත් කළ වේදා ක්‍රිශ්නමූර්ති 4 පහර 4ක් එල්ල කරමින්, පන්දු 33ක් තුල ලකුණු 29ක් රැස්කර ගත්තාය.

පන්දු යැවීමේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 28ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රීපාලි වීරක්කොඩි සමත් වූවාය. ඇයට අමතරව ඉනෝකා රණවීර ලකුණු 55ක් තුළ කඩුලු 2ක් තම ගිණුමට බැර කර ගත්තාය. ඔවුන් දෙදෙනාම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාවක් ආසන්නයට පැමිණි නමුත් අවාසනාවන්ත ලෙස එම අවස්ථාවන් දෙකම ගිලිහී යන ලදි.

ලකුණු 233ක සැලකිය යුතු මට්ටමේ ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියන් යුගල වන හසිනි පෙරේරා හා නිපුනි හංසිකා හට පන්දුවාර 4යි පන්දු 3ක් තුළ පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි. හසිනි ලකුණු 10ක් ලබාගෙන සිටිය දී ජුල්නා ගෝස්වාමිගේ පන්දුවකට මිඩ් ඕන් කලාපයේ සිටි මන්ධානා අතට උඩ පන්දුවක් ලබා දෙමින් අනපේක්ෂිත ලෙස දැවී ගියාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70ක් වන විට කඩුලු 3ක් දැවී තිබුණි. ඒ වන විට මුල්පෙළ පිතිකාරිනියන් වූ හංසිකා ලකුණු 29කට හා චමරි අතපත්තු ලකුණු 25කට දැවී ගොස් අවසන්ය.

එහි දී අතපත්තු 4 පහර 4ක් සමඟින් එම ලකුණු 25ක් රැස්කර ගත්තාය. සිව්වන කඩුල්ල සඳහා පන්දු 93ක් තුළ ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ ඩිලානි මනෝදරා හා ශසිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමට සමත් වූහ. 4 පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබාගෙන සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි සිරිවර්ධන, ගෝස්වාමිගේ පන්දුවකට දැවී යන ලදි.

මනෝදරා තම දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කරමින් තරගයේ අවසන් පන්දුවාර කිහිපය තෙක්ම තරගය ඉදිරියට රැගෙන ආව ද, ඇය මත තරගයේ සම්පූර්ණ පීඩනය පැටවිණි. ඇය දැවී යන අවස්ථාවේ සිය දෙවන අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් වී සිටි අතර,  ඇයගේ ඉනිම 4 පහර 6කින් ඔපවත් විය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි.

පන්දු යැවීමේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පූනම් යදෙව් හා ජුල්නා ගෝස්වාමි කඩුලු 2ක බැගින් දවා ගනිමින් තම දායකත්වය ලබා දුන්හ.

මෙම තරගය පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට බලපෑ හේතු සාධක කිහිපයක් නිරීක්ෂණය විය. එනම් අවසන් පන්දුවාර කිහිපය තුළ රැක ගැනීමට හැකිව තිබූ උඩපන්දු කිහිපයක්ම අත්හැරීම හා පිතිකරණයේ නිරත වන විට පළමු පන්දුවාර 40 අවසානයේ දී රැස්කර ගත්තේ ලකුණු 138ක ප්‍රමාණයක් පමණක් වූ නමුත් අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වීමයි.

එම අඩුපාඩු මඟ හරවා ගත්තේ නම් මෙම තරගයේ ජයග්‍රහණය ලියවීමට තිබුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නමිනි.

කෙසේ නමුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හොඳ තරගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුබට වූයේ නැත. එබැවින් ඉදිරි තරග කිහිපය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පසුබට විය යුතු නැත.

ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 232 (පන්දුවාර 50): දීප්ති ශර්මා 78, මිතාලි රාජ් 53, වේදා ක්‍රිශ්නමූර්ති 29, හර්මන්ප්‍රීත් කවුර් 20, ශ්‍රීපාලි වීරක්කොඩි 3/28, ඉනෝකා රණවීර 2/55.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 216 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 61, ශසිකලා සිරිවර්ධන , නිපුනි හංසිකා 29, චමරි අතපත්තු  25, පූනම් යදෙව් 2/23, ජුල්නා ගෝස්වාමි  2/26

තරගයේ වීරවරිය – දීප්ති ශර්මා (ඉන්දීය කාන්තා කණ්ඩායම)

මෙම තරගාවලියට සමගාමීව අද (5) පැවැත්වූ අනෙක් තරග දෙකෙන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විසින් පකිස්තානු කාන්තා කණ්ඩායම ලකුණු 159කින් පරාජය කළ අතර,  එංගලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකානු කාන්තාවන් ලකුණු 68කින් පරාජයට පත්විය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන 9 වැනි දා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟින් මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට