ශ්‍රී ලංකා යෞවනියෝ ඔස්ට්‍රේලියාව හමුවේ පසු බසී

Women’s U19 Tri Nation Series 2024

51
Sri Lanka Women's Cricket

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා යෞවනියෝ ඊයේ (01) ඔස්ට්‍රේලියාව හමුවේ තියුණු පරාජයකට ලක් වෙමින් අපරාජිත කිරුළ අහිමි කර ගත්තා.  

මෙම තරගාවලියේ දී මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වූ තරගවල දී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් ද සහ එංගලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 6ක ජයග්‍රහණයක් ද ලබා සිටියා.  

4 වැනි තරගය, හම්බන්තොට, 01, අප්‍රේල් 2024, Women’s U19 Tri Nation Series 

ඔස්ට්‍රේලියාවට එරෙහිව කණ්ඩායම නම් කිරීමේ දී පෙර තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගූ නෙත්මි පූර්ණා විවේක ගන්වා තිබුණා. එමෙන් ම පෙර තරග ද්විත්වයේ දී ක්‍රීඩා කළ විශ්මි සාවින්දි ට මෙම කණ්ඩායමේ ස්ථාන අහිමි ව තිබූ අතර ඒ වෙනුවට දැහැමි සෙනෙත්මා සහ රිෂ්මි සංජනා මෙම තරගයට කැඳවා තිබුණා. 

  • කාසියේ වාසිය – ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 
  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සූරියවැව. 

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවේ දී තම ජයග්‍රහණය වාර්තා කර ගත්තා.  

කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිම ආරම්භ වෙන්නේ පළමු කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කරමිනුයි. සංජනා කාවින්දි සහ දෙවිමි විජේරත්න එක් ව ගොඩ නැගූ එම ඉනිම වෙනුවෙන් වැය වන්නේ පන්දු 50ක් පමණක් පමණයි.  

දෙව්මි විජේරත්න ලකුණු 10ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර අනතුරු ව නැවත එවැනි සබඳතාවක් ගොඩ නැගෙන්නේ නායිකා මනුදි නානායක්කාර සහ රශ්මි නේත්‍රාංජලී අතර යි. ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 33ක් එක් කරනවා.  

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි යි. ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. නායිකා මනුදි නානායක්කාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19ක් වූ අතර ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 3ක් ද ඒ අතර වූවා.  

ඊට අමතර ව රශිම් නෙත්‍රාංජලී ලකුණු 16ක් ද සහ රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 14ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Maggie Clark ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.  

ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම වඩාත් සටන්කාමී වූවා. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 14ක් වෙද්දී දැවී ගිය ද දෙවැනි කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 37ක සබඳතාවක් ද සහ සිවු වැනි කඩුල්ල සඳහා පන්දු 49ක දී නොදැවුණ ලකුණු 65ක සබඳතාවක් ද එක් වූවා.  

එහි දී නායිකා Lucy Hamilton පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 56ක් වාර්තා කළා. එය මෙම තරගාවලියේ පිතිකාරිනියක විසින් වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකයයි.  

ඇයට අමතර ව ආරම්භක පිතිකාරිනී Grace Lyons පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී රශ්මිකා සෙව්වන්දි සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව   

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 132 (20.0) සංජනා කාවින්දි 39, මනුදි නානායක්කාර 19, Maggie Clark 2/18 

 

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 133 (20.0) Grace Lyons 30, Lucy Hamilton නොදැවී 56, Ella Briscoe නොදැවී 14, රශ්මිකා සෙව්වන්දි 1/15 

 

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන එංගලන්තය හා සමඟ තරගය හෙට (03) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<