වමත් කසකරුවාගේ ඔබ නොදන්නා ආරම්භය

3020

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම සීමිත පන්දුවාර තරග රටාව සහ එහි හැඩතල වෙනත්ම දිශානතියකට යොමු කළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්. දකුණු ලක ඈත මාතර පුරවරයේ සිට කොළොම්පුරට පැමිණ ක්‍රිකට් ලෝකයම උඩුයටිකුරු කළ සනත් ජයසූරියගේ හැකියාව මුලින්ම අවබෝධ කර ගත් පුද්ගලයා සමඟ පිළිසඳරක යෙදෙන්න පහුගියදාක අපට හැකි වුනා. ඔහු නමින් ලයනල් වගසිංහ.

සනත් ජයසූරිය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයාගේ ආරම්භය වගේම මාතර සාන්ත සර්වේසස් විදුහලේ ක්‍රිකට් අතීතය ගැන වගසිංහ මහතා දොඩමලු වුනේ මේ ආකාරයෙන්.

ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් – සනත් ජයසූරිය

වර්ෂ 1989 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් සනත්

සනත් මට මුලින්ම මුණගැහුණ දවස ගැන කතා කරන්න කලින් අමතක කරන්න බැරි චරිතයක් ගැන කතා කරන්න ඕන. ඒ අපේ සර්වේසස් විදුහලේ ගලප්පත්ති විදුහල්පතිතුමා. ගලප්පත්ති මහත්මයා නැති වෙන්න මේ දේවල් සියල්ල සිහිනයක් වෙන්න තිබුණා.

ගලප්පත්ති විදුහල්පතිතුමා ගැන කියද්දී මට එක්තරා සිදුවීමක් මතක් වෙනවා. එතකොට මට අවුරුදු දොළහක් විතර ඇති. ඒ සර්වේසස් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ක්‍රිකට් තරග පැවැත්වෙමින් තිබුණ කාලය.

එහි එක්තරා තරගයක දී මම දහනමයෙන් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරියේ සෑහෙන ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. එදින සවස් වෙද්දී මට පාසලේ දාහතරෙන් පහළ කණ්ඩායමේ නායකත්වය ලැබුණා. ඒත්  මම ගෙදර ආවේ ලොකු බරක් හිතේ තියාගෙන. මට නායකත්වය ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. අනික මට වඩා ජ්‍යේෂ්ඨයෙක් අපේ කණ්ඩායමේ හිටියා. මට මේක හිතට මහ වදයක් වුනා. මම තීරණය කළා නායකත්වය ආපහු දෙන්න. පහුවදා මම බයෙන් බයෙන් ගලප්පත්ති මහත්තයගේ කාර්යාලයට ගිහින් නායකත්වය බාර ගන්න බැරි හේතුව කිව්වා. එතුමා මා ගැන පුදුම විදියට පැහැදුණා. ඒ පැහැදීම විශ්වාසය තමයි පසුකාලීනව ගොඩාක් දේවල් හරියාකාරයෙන් කරගන්න අපට මග පෑදුවේ.

ඊට පහුවදා තිබුණ උදේ රැස්වීමේ ගලප්පත්ති විදුහල්පතිතුමා පරිත්‍යාගශීලිත්වය ගැන කතාවක් කළා. කතාව අතරේ එකවරම එතුමා මට වේදිකාවට කතා කළේ මෙන්න අපේ පාසලේ පුංචි පරිත්‍යාගශීලියෙක් කියමින්. එතුමා එතරම් පැහැදිලා හිටියේ මා ගැන.

ඒ මම දහනමයෙන් පහළ කණ්ඩායමේ නායකත්වයත් දරල පාසලෙන් ඉවත්වෙලා සිටි වකවානුව. දිනක් ගලප්පත්ති විදුහල්පතිතුමාගෙන් පණිවිඩයක් ලැබුණා පාසලට පැමිණෙන ලෙස. මම වහාම ගියා එතුමා මුණ ගැහෙන්න.

වගසිංහ පාසල් ක්‍රිකට් සංගමයෙන් යෝජනාවක් ඇවිල්ලා තියනවා එකොළහෙන් පහළ සහ දහතුනෙන් පහළ කණ්ඩායම් දෙකක් හදන්න. තමුන්ට පුළුවන් ද මේක බාරගෙන කරන්න.

මම ඒ වෙලාවේ විදුහල්පතිතුමාට කිව්වා එක කොන්දේසියක් පිට මම මේක බාර ගන්නම් කියල. මට ඕන විදියට මේක කෙරෙනවා නම් පමණයි මම වැඩේ බාර ගන්න කැමති කියල.

මට ඒත් එක්කම එක්තරා සිද්ධියක් මතක්වුණා. එතකොට මම දහසයෙන් පහළ කණ්ඩායමේ නායකයා. අපිට තිබුණා ගාල්ලේ මහින්දේ එක්ක මැච් එකක්. ඒ කාලේ මහින්දේ නායකයා ඩී. එල්. එස්. ද සිල්වා. එයා ලංකාවෙන් බිහිවුණු වේගවත්ම පන්දු යවන්නෙක්. අපි මුලින් බැට් කළේ. අපි ගැහුවේ යාන්තම් ලකුණු 32යි. ඩී. එල්. එස්ට කඩුලු අටක්. එයා බෝල් කරද්දී හුළඟ කපාගෙන යන සද්දේ විතරයි ඇහෙන්නේ. බෝලේ පේන්නේ නෑ. අකාලයේ මිය නොයන්න අපේ රටට ලොකු සේවයක් කරන්න තිබුණ කෙනෙක් තමයි ඩී. එල්. එස්. මම තවමත් ගාලු පාරේ ගියොත් ඩී. එල්. එස්ගේ බලපිටියේ සොහොන ළඟින් යද්දී හැමදාම වාඩි වෙලා යන අසුනින් පවා නැගිටල ආචාර කරනවා.

එදා අවාසනාවකට දෙවැනි ඉනිමටත් අපි ගැහුවේ ලකුණු 32යි. අපි දරුණු ලෙස පරාදයි. අපි ගාල්ලේ ඉඳන් කෝච්චියෙන් මාතර එද්දී අනිත් අය සිංදු කියනවා, නටනවා කාටවත් පරාජය ගැන ගාණක්වත් නෑ. මම පැත්තකට වෙලා කල්පනා කලා ගාල්ලේ මහින්දෙටවත් ගහන්න බැරි අපි කවදද කොළඹ ලොකු, ලොකු ඉස්කෝලවලට ගහන්නේ කියල. මම හිතාගත්තා කවදාහරි මට පුහුණුකරුවෙක් වෙන්න ලැබුණොත් මම මේ ඔක්කොම වෙනස් කරනවා කියල. මට ගලප්පත්ති විදුහල්පතිතුමා මේ අලුත් වගකීම බාර දුන්නාම හිතට ආවේ අර සිද්ධිය.

ඊට පස්සේ අපි ඉස්කෝල නිවාඩු කාලේ අල්ලලා පොඩි දැන්වීමක් දැම්මා මෙහෙම වයස් කාණ්ඩ දෙකක් යටතේ අපි ටීම් දෙකක් හදන්න යනවා. ක්‍රිකට් ගහන්න කැමති ළමයි එන්න කියල. කියපු දවසේ ළමයි දෙසීයක් වගේ ඇවිත් හිටියා. අපි එයාල ඔක්කොටම බෝල දහය ගාණෙ වගේ දැම්මා. ඒ අතරේ හිටියා දරුවෙක්. මෙයාට දාන දාන හැම බෝලෙටම පාරක් තිබුණා. ඒ වගේම එයාට පිටිය වටේටම පහරවල් තිබුණා. මමයි මගේ සහය පුහුණුකරු ඊශ්වරයි දෙන්නම පුදුම වුනා මේ දරුවගේ හැකියාව දැකල. ඔය විදියට තමයි මම මුලින්ම සනත්ව දැක ගන්නේ.

ඒ කාලේ අපිට පහසුකම් තිබුණේ නෑ. ඒත් මම මේ දරුවන්ට මා සතු සියලු දේ උපරිමයෙන්ම ලබා දුන්නා. නිවාඩු කාලේ හැම දවසකම උදේ හයේ ඉඳල දවල් දොළහ වෙනකල් සහ හවස තුනේ ඉඳල හවස හය වෙනකල් පුහුණුවීම් කළා මේ කණ්ඩායම් දෙකටම. යාන්තම් බැට් දෙකක් සහ පෑඩ් ජෝඩු හතරයි අපට තිබුණේ. ඒ කාලේ හොඳ බැට් එකක් ගන්නවා කියන එකත් සිහිනයක්. සමහර තිබුණ පා ආවරණ ප්‍රමාණයෙන් විශාලයි. තරග අතරතුර ඔබ දැකල ඇති සනත් පුරුද්දක් විදියට පෑඩ් සකස් කරනවා. මේ පුරුද්ද ආවේ නිසි ආකාරයේ ආම්පන්න ඒ කාලයේ අපිට තිබුණේ නැති නිසා. ක්‍රීඩකයෝ පුහුණු කළාට මට සත පහක්වත් ලැබුණේ නෑ. එහෙම දෙන්න පාසලට හැකියාවක් තිබුනෙත් නෑ. හැබැයි මම මේ දේවල් කළේ පුදුම ආසාවකින් සහ භක්තියකින්.

සනත්ලගේ මුල්ම තරගය තිබුණේ කොළඹ සාන්ත තෝමස් කණ්ඩායමට එරෙහිව. තරගයට කලින් දවසේ හවස මම අපේ දරුවන්ට මෙහෙම කිව්වා.

හෙට තරගයට එන සාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඔබට වඩා ශරීර ප්‍රමාණයෙන් උස, මහතයි. ඔවුන් ඔක්කොම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. සමහර විට ඔවුන් හෙට එන්නේ බෙන්ස්, බී. එම්. ඩබ්ලිව් වගේ සුඛෝපභෝගී වාහනවලින් වෙන්න පුළුවන්. ඔබට බය වෙන්න කිසිම දෙයක් නෑ. තියෙන්නේ එකම දෙයයි කරන්න, හෙට දවසේ පිටිය මැදට ගිහින් මම උගන්නපු ක්‍රිකට් ගහන්න විතරයි.

කියපු ආකාරයටම ඔවුන් ඇවිත් හිටියේ ලොකු, ලොකු වාහනවලින්. ඔවුන් සියලු දෙනාම අපේ ක්‍රීඩකයින්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලයි. තරගයේ කාසියේ වාසිය දිනපු සාන්ත තෝමස් කණ්ඩායම තීරණය කළා මුලින් පන්දුවට පහර දෙන්න. ඔවුන්ගේ ආරම්භක පන්දු යවන්නාගේ නම එම්. ඩෙනම්. ඔහු අවුරුදු අටක දරුවෙක් වුනත් ඔහුගේ ශරීර ප්‍රමාණය අවුරුදු පහළොවක දහසයක කෙනෙක් වගේ. ඔහු යොමු කරපු මුල්ම පන්දුවෙන් කඩුල්ලක් දැවී ගියා.

පළවෙනි කඩුල්ල වැටුනට පස්සේ බැට් කරන්න ගියේ සනත්. ඩෙනම් ඈත තියා දුවගෙන ඇවිත් ගිණිකසයා වගේ දාපු ඊළඟ බෝල හතරම නැවතුනේ හතරේ සීමාව පහු කරලා. ලෝක කුසලානවලට  ගිහින් මනෝජ් ප්‍රභාකර්ලට, වෙන්කතේශ් ප්‍රසාද්ලට එකදිගට ගහපු හයේ, හතරේ ඒවායේ ආරම්භය එතැනයි.

එදා සනත්ට ලොකු ලකුණු ගාණක් ගහන්න බැරි වුනා. ඒත් සාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයොත් එක්ක ආපු අම්මලා තාත්තලා ගැස්සිල හිටියේ සනත් දියත් කළ දැඩි ප්‍රහාරයට.

සනත් ඒ කාලේ අපේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා. වමතින් මද වේගපන්දු යවල හැම මැච් එකේදිම වගේ විකට් පහේ ඒවා ගත්තා. පන්දුව හරියට අල්ලන විදිය කියල දුන්නාම එයාට ඒක දෙපැත්තම දෝලනය කිරීමේ හැකියාව තිබුණා. පොඩි කාලේ ඉඳලම අලුත් දෙයක් ඉගෙන ගන්න ආසාවක් ඔහුට තිබුණා.

සනත් ඒ අවුරුද්දේ එකොළහෙන් පහළ වයස් සීමාවේ හොඳම  පිතිකරු සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා. මේ සම්මාන උළෙල තිබුණේ කොළඹ කේරී විද්‍යාලයේ. එදා පහළොවෙන් පහළ සීමාවේ හොඳම පිතිකරුවා වුනේ රොෂාන් මහානාම. ඒ සම්මාන උළෙලේ දාහතෙන් පහළ වයස් සීමාවේ හොඳම ක්‍රීඩකයා වුනේ අර්ජුන රණතුංග.

මම තව සිද්ධියක් මතක් කරන්න ඕන. වතාවක් ඉන්දියානු පාසල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔවුන් මාතරදීත් තරග වැදුණා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් එක්ක. මමත්  ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. අපිට මාස දෙකක පුහුණුවක් දෙන්න ජෙරී ගුණරත්න කියල මහත්මයෙක් ඇවිත් හිටියා. ඔහු අග්‍රගණ්‍ය පුහුණුකරුවෙක්. මම ඒ මාස දෙකේ උපරිමයෙන් ඔහුව අධ්‍යයනය කලා. මම සනත්ලට පාවිච්චි කළෙත් එතුමාගේම උපක්‍රම. එතුමාවත් මම මෙතන දී ගෞරවයෙන් මතක් කරනවා.

මගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාට පන්දුවට පහර දෙන්න වගේම පන්දු යවන්නත් පුළුවන්. ඒ වගේම ඔවුන් හැමදෙනාටම පිටියේ ඕනම තැනක පන්දු රකින්න පුළුවන්.  සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම අනෙක් සියල්ලටම පෙර හොඳ පන්දු රකින්නෙක් විය යුතු බවට මම විශ්වාස කරනවා.

අපි ඊළඟ අවුරුද්දේ පාසල් ක්‍රිකට් තරග වාරයේ තුන්වැනි කොටසේ ශූරතාවය දිනා ගත්තා. සනත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. ජයග්‍රහණය නිසා අපිට දෙවැනි කොටසට උසස්වීමක් ලැබුවා. කොයි තරම් අඩුපාඩුකම් තිබුනත් දෙවැනි කොටසේ ශූරතාවය දිනා ගන්නටත් ඊළඟ වතාවේ අපි සමත් වුනා. මේ වෙද්දි මට රුපියල් සීයක පඩියක් ගෙවන්නත් ගලප්පත්ති විදුහල්පතිතුමා කටයුතු කළා. දෙවැනි කොටසේ ශූරතාවය දිනලා අපි පළමු ශ්‍රේණියට උසස් වුණාම තමයි එදා මම දුම්රියේ යද්දී දැකපු සිහිනයේ බැරෑරුම්කම තේරුම් ගියේ

පළවෙනි ශ්‍රේණියේදීත් අපිට මුලින්ම ලැබුණේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සමඟ තරගයක්. ඔවුන්ගේ ක්‍රීඩාංගණයේ දී ම අපි ඔවුන්ව පරාජය කළා. කොළඹ සාන්ත ජෝසප් කණ්ඩායමත් ඒ වතාවෙම අපිට පරාජය වුනා.

අර මම කලින් කිව්වේ මගේ ක්‍රීඩකයෝ හැමදෙනාටම පන්දු යවන්න පුළුවන් කියල. ඒකට උදාහරණයක් මම දෙන්නම්. අපිට තිබුණා එක තරගයක් හලාවත සාන්ත මේරි කණ්ඩායම සමඟ. ඔවුන් මුලින් පන්දුවට පහර දීලා ආරම්භක කඩුල්ලට ලකුණු 103ක් එකතු කළා. ඒ වෙනකොට අපි පන්දු යවන්නෝ දහදෙනාම පාවිච්චි කරල තිබුණේ. මම කිව්වා කඩුලු රකින්නාට පන්දු යවන්න කියලා. ඔහු අත් ආවරණ වෙනත් ක්‍රීඩකයෙකුට බාරදීල පන්දු යැව්වා. විශ්වාස කරන්න ඔහු එදා කඩුලු අටක් දවා ගත්තා. ආරම්භක කඩුල්ලට ශතක සම්බන්ධතාවයක් වාර්තා කරගෙන සිටි සාන්ත මේරි කණ්ඩායම එදා ලකුණු 159කට දැවී ගියා.

සාර්ථක තරග වාරයක් නිමා කරල අපි ඒ අවුරුද්දේ පළවෙනි ශ්‍රේණියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලැබුවා. පුදුමයකට වගේ අනිත් අන්තයෙන් අවසාන මහ තරගයට ඇවිත් තිබුණේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල.

මේ තරගයේ තෝමසුවන් ලකුණු 143ක් ලබා ගත්තා. අපි පන්දුවට පහර දෙද්දී එක වරක ලකුණු පුවරුව කියවුණේ 80/8ක් ලෙසයි. සනත් ගැහුවේ ලකුණු හතරයි. දැන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙක් විදියට කටයුතු කරන රුචිර පල්ලියගුරුත් මේ කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වෙද්දී ඔහුත් ලකුණු විසි ගණනකට දැවී ගිහින්. ඒ කොහොම වුනත් අවසාන කඩුලු දෙක දවා ගන්න අපි තෝමසුවන්ට ඉඩ දුන්නේ නෑ. තරගය ජය පරාජයෙන් තොරව නිමාව දකිද්දී දහතුනෙන් පහළ පළවෙනි කොටසේ සම ශූරතාවය මාතර සාන්ත සර්වේසස් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම අතරේ බෙදිලා ගියා.

මම හැමවිටම ශරීර යෝග්‍යතාව ගැන විශ්වාසය තැබූ කෙනෙක්. අනිත් කාරණාව කවදාවත්ම මම පෞද්ගලික හිතවත්කම්වලට ක්‍රීඩකයෝ තේරුවේ නෑ.

ඒ කාලේ පිටින් කණ්ඩායමක් මාතරට ආවාම ඔවුන්ට සලකන්නවත් වත්කමක් අපිට තිබුණේ නෑ. ආදි ශිෂ්‍යයෝ තමයි ඒ වෙලාවට පිහිටට එන්නේ. එක හෝටලයක් තිබුණා මාතර පූර්ණ පස්ගෝරස කියල. ඒකෙ මුදලාලි ගාණේ තමයි හැමදාම පිටින් එන කණ්ඩායම්වලට කෑම පාර්සල් ඔක්කොම දෙන්නේ. මේ මුදලාලිගේ පුතත් සනත්ලගේ කණ්ඩායමේ සාමාජිකයෙක්. නමුත් ඔහුට වඩා දක්ෂයෝ හිටපු නිසා ඒ දරුවව කවදාවත් මුල් එකොළොස් දෙනා අතරට ගන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ. ඒ අම්මලා තාත්තලවත් විදුහල්පතිතුමාවත් ඒ දරුවා කණ්ඩායමට ගන්න කියල මට කිසිම බලපෑමක් කළේ නෑ.

ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩාව වර්ධනය වෙන්න හැකියාව වගේම මනස නිරවුල් ආකාරයෙන් තිබීමත් බලපානවා. පිටිය මැදට ගිහින් තමන්ගේ ක්‍රීඩාව නිසි ආකාරයෙන් කරන්න ලැබෙන්නේ එවිටයි. ඒ වගේම විනය කියන දේත් හරිම වැදගත්.

අවසානයේ කිව යුතුයි සනත් ජයසූරිය නම් ක්‍රීඩකයා සහ පුද්ගලයා නිසා බොහෝ අවස්ථාවන්හී මම අතිශයින්ම ආඩම්බර වෙලා තියනවා. සතුටු වෙලා තියනවා. ඒ සතුට කිසි ආකාරයකින් මිල කරන්න අමාරුයි.

විශේෂ ස්තුතිය: මොහොමඩ් ඩැෆ්ටර් මහතාට.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<