මල්ෂා ප්‍රමුඛ පන්දු යවන්නියෝ මැලේසියා ඉනිම ලකුණු 33කට සීමා කරති!

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

606

මීට පෙර ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව විස්සයි විස්ස ජයක් ලබා නොතිබූ මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගයේ මුල් භාගයේ දී එල්ල කළ තර්ජනය සාර්ථකව මැඩ පැවැත්වීමට අද (08) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ ආසියානු කුසලානයේ ඔවුන් මුහුණ දුන් සිව්වැනි තරගය ලකුණු 72කින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පිතිකරණයේ යෙදීම තෝරා ගත්තේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අදහසින් විය යුතුයි. නමුත් එම බලාපොරොත්තු හිරු දුටු පිණි මෙන් දියකර දැමූ මැලේසියා ක්‍රීඩිකාවන් මුලින්ම දවා ගන්නේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය වූ හර්ෂිතා මාධවීයි. හර්ෂිතා පිට ඉන්නට ඈතින් ඇදී ගිය පන්දුවකට කඩුලු රකින්නිය අතට උඩපන්දුවක් ලබා දෙද්දී ලබා සිටියේ ලකුණු 3ක් පමණයි.

අද ඉතා හොඳින් පන්දු යැවූ සාෂා ආස්මි තම මුල්ම කඩුල්ල ලෙස ලකුණු 5ක් ලබා සිටි හසිනි පෙරේරාව පිටියෙන් ඉවත් කළා. ඒ ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ කල හසිනිගේ දෙපා අතරින් ඇදී ගිය පන්දුව පා ඉන්න බිඳ හෙලීමත් සමඟයි. පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලද නවක ක්‍රීඩිකා කෞෂාණි නුත්‍යාංගනා (01) අද අනවශ්‍ය පහරක් කරා ගොස් දැවී ගියේ තමන්ට ලැබුණු රාජකාරිය පැහැර හරිමින්.

එල්ල වන පීඩනය හමුවේ ඉතා මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 21ක් රැස් කිරීමට පන්දු 34ක් වැය කළා. ඇයගේ ඉනිමට ඇතුළත් වුනේ ඩීප් මිඩ්-විකට් ඔස්සේ එල්ල වුනු එකම හතරේ පහරක් පමණයි.

නිලක්ෂි ද සිල්වා පන්දු 23ක දී ලකුණු 21ක් රැස් කළා. මේ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීම ද්වීමය සංඛ්‍යාවක් ලෙසින් දිස්වූ අතර එහි අඩංගු වූයේ තනි ලකුණු සහ නිලකුණු පන්දු පමණයි.

කෙසේ වෙතත් ලකුණු 61කට කඩුලු 6ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගත් ඕෂධී රණසිංහ පන්දු 18ක දී නොදැවී ලකුණු 23ක් සහ මල්ෂා ශෙහානි ලකුණු 14ක් රැස් කිරීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු සියයේ සීමාව ඉක්මවා යාමට හැකි වුනා. ඒ අනුව ඉනිමේ නිමාව වන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 105ක්.

පන්දු යැවීමේ දී සාෂා ආස්මි සහ හමීසා හෂීම් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. ශ්‍රී ලංකාවට විනිසුරුවරියන්ගෙන් ද සහයක් පළ නොවූ අතර නූර් අරියානා යැවූ පපුව මට්ටමෙන් පැමිණි පන්දුවක් නීති විරෝධී පන්දුවක් (No Ball) ලෙස සටහන් නොකිරීමෙන් ඔවුන්ට තවත් ලකුණක් සහ නිදහස් පහරක් (Free Hit) අහිමිව ගිය අතර ලකුණු දෙකක් ලබා ගත් අවස්ථාවක කෙටි ලකුණක් (Short Run) සංඥා කිරීමට ද විනිසුරුවරියන් කටයුතු කළා.

ඉතාම අඩු අත්දැකීම් සහිත මැලේසියාව මීට පෙර කිසිදු විටෙක ලකුණු සියයට වැඩි ඉලක්කයක් හඹා ගොස් නොතිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු යැවීම ආරම්භ කළේ එම මානසික අස්වැසිල්ලත් සමඟයි.

අතීත දත්ත තවදුරටත් තහවුරු කරමින් මැලේසියානු පිතිකරණය අන්ත අසරණ කර දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුනේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ප්‍රශ්න කරමින් සිටි “ශ්‍රේණිගත කිරීම්වල වෙනස” මනාව පැහැදිලි කරමින්.

විශේෂයෙන් සඳහන් කිරීමට කිසිවකුත් නැති මැලේසියා ඉනිමේ ඉලක්කම් දෙකේ ලකුණක් කරා ගිය එකම පිතිකාරිණිය වූ එල්සා හන්ටර් ලකුණු 18ක් රැස් කළා. නිරන්තරයෙන්ම කඩුල්ල කෙළින් පන්දු යැවූ ශ්‍රී ලංකාව අත්දැකීම් අඩු මැලේසියාවේ සුළු තාක්ෂණික අතපසුවීම් පවා කඩුලුවලට හරවා ගත්තේ පිටියේ පන්දු රැකීම ද ඉහළ මට්ටමක රඳවා ගනිමින්.

සුපිරි පන්දු යැවීමක යෙදුණු මල්ෂා ශෙහානි ලකුණු 2කට කඩුලු 4ක්ම බිඳ හෙලුවා. ඇයට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවක් හිමි වුවද තෙවැනි කඩුල්ල ලබා නොදී සිටීමට මැලේසියාව සමත් වුනා. මීට අමතරව සුගන්ධිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඕෂධී රණසිංහ ඉතිරි කඩුල්ලට හිමිකම් කීවා.

ඉනිමේ අවසානය මැලේසියානු පිතිකාරිණියන් සියල්ලන් දැවී ලකුණු 33ක් ලෙස සටහන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 72ක පහසු ජයක් හිමිකර දෙමින්. තරගයේ වීරවරිය ලෙස අද සම්මාන දිනා ගත්තේ අවශ්‍යම මොහොතේ පිත්තෙන් ලකුණු 14ක් සහ පන්දුවෙන් කඩුලු 4ක් බිඳ හෙලූ 27 හැවිරිදි මල්ෂා ශෙහානියි.

තරගයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නැවත වරක් පුනපුනා පැවසුවේ තමන් කණ්ඩායමේ පිතිකරණය ගැන සෑහීමකට පත් නොවන බවයි. “මුලින් කඩුලු දෙකක් දැවී ගිය පසු තමන් දැඩි පීඩනයකට හසු වූ බවත්, සාර්ථක වීමට නම් මීට වඩා ධනාත්මකව ක්‍රීඩා කළ යුතු බවත්” ඇය පවසා සිටියා. “මෙම කඩුලු මන්දගාමී සහ ඉපිලීමෙන් අඩු බවත්, උදෑසන තරගයක් නිසා තෙතමනය ද අධික නිසා ලකුණු රැස් කිරීම පහසු නොවන බවයි” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය කරා උසස් වීම් ලැබුවේ ලකුණු 6ක් සමඟයි. සටහනේ මුල් ස්ථාන 3ම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටින අතර ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් දෙවැනි වන්නේ ඉන්දියාවට සහ පාකිස්තානයට පමණයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ලබන සඳුදා (10) සත්කාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<