කොළඹ ක්‍රීඩිකාවෝ එක්දින පළිය T20න් ගනී

NSL Women's T20 Tournament 2024

102

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) කොළඹ දී නිමා වූ අතර එහි දී Dambulla Women කණ්ඩායමට එරෙහිව ව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Women කණ්ඩායම සමත් වූවා.

ඊට පෙර නිමා වූ Women’s National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මෙම කණ්ඩායම් 2 ම වන අතර එහි දී අවසන් මහා තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Dambulla Women කණ්ඩායම සමත් වූවා.

කෙසේ වෙතත් තරගාවලි ද්විත්වයේ ම අවසන් මහා තරග දියාරු ලකුණු පුවරුවක් මත ක්‍රියාත්මක වීම කැපී පෙණුන අතර, එක්දින සීමිත පන්දුවාර අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Women කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 66ක් පමණක් වන අතර මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Women කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 82ක් පමණයි.

අවසන් මහා තරගය, කොළඹ, 20, පෙබරවාරි 2024, NSL Women’s T20 Tournament

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Colombo Women

කාසියේ වාසිය දිනූ Colombo Women කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම නොසිතූ අකරතැබ්බයකට පත් වෙමින් ලකුණු 82කට තම ඉනිම අවසන් කර ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වුයේ සඳලී වීරසිංහ. ඇය පන්දු 41කට මුහුණ දෙමින් කිසිදු සිමා ලකුණක් නොමැති ව ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සත්‍යා සංදීපනී. ඇය පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී Colombo Women පන්දු යවන්නියන් අතුරින් සචිනි නිසංසලා, විදුශිකා පෙරේරා සහ තරුෂි තත්සරණි කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඉනෝෂි ප්‍රනාන්දු සහ තාරිකා සෙව්වන්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

එම ඉනිම අවසානයේ දී පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo Women කණ්ඩායම 17 වැනි පන්දුවාරය දක්වා ම පිතිකරණයේ යෙදවීමට ප්‍රතිවාදී Dambulla Women කණ්ඩායම කැස කැවුවා.

ඔවුන්ගේ පළමු කඩුල්ල සඳහා නෙත්මි පූර්ණා සහ ප්‍රසාදනී වීරක්කොඩි එක් ව පන්දු 43ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියේ නෙත්මි පූර්ණා පන්දු 27ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා තිබිය දී දැවී යෑමත් සමගිනුයි.

ඊට පසුව පිටියට එක් වූයේ නායිකා හසිනි පෙරේරා. ඇය ආරම්භක පිතිකාරිනී ප්‍රසාදනී වීරක්කොඩි හා එක් ව තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඉනිමේ තවත් පන්දු 19ක් තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින්.

එහි දී ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටි අතර හසිනි පෙරේරා පන්දු 27ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

ඔවුන්ගේ ඉනිම පාලනය කිරීම සඳහා ප්‍රතිවාදී නායිකාව පන්දු යවන්නියෝ 7 දෙනෙක් යොදා ගත් අතර එහි දී සාර්ථක ඵල නෙලා ගැනීමට හැකි වූයේ චමරි ලක්ෂානි පමණයි. Colombo Women ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරිනිය ඇය වූ අතර තරගය අවසන් වෙන විට ඇය පන්දුවාර 3ක් යවමින් ලකුණු 19කට කඩුල්ලක් දවා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla Women – සියලුම දෙනා දැවී 82 (18.3) සියලුම දෙනා දැවී 82 (18.3) සඳලි වීරසිංහ 25, විදුශිකා පෙරේරා 2/11, සචිනි නිසංසලා 2/10, තරුෂි තත්සරණි 2/18
  • Colombo Women – කඩුල්ලක් දැවී 85 (16.5) නෙත්මි පූර්ණා 20, ප්‍රසාදනී වීරක්කොඩි නොදැවී 39, හසිනි පෙරේරා නොදැවී 21, චමරි ලක්ශානි 1/19

Colombo Women කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – කවීෂා දිල්හාරි (Kandy Women)
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – හර්ෂිතා සමරවික්‍රම (Dambulla Women)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – මල්ෂා ෂෙහානි (Dambulla Women)
  • අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ප්‍රසාදනී වීරක්කොඩි (Colombo Women)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<