අවලස්සන වූ ලෝක කුසලාන ක්‍රීඩාංගණ පෙරහුරුව

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

1030

මිලියන 3කට අඩු ජනගහණයකින් යුත් කටාර් රාජ්‍යයට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමිත්තෙන් එකවරම ගලා එන මිලියන 1.2ක මිනිස් ගඟකට සත්කාරකත්වය දැරීම මේ කුඩා ගල්ෆ් අරාබි දේශය මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝගයක්.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත අවසාන මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ලුසේල් ක්‍රීඩාංගණයේ පසුගිය දා පැවති තරගයක් ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාරයේ සූදානම දැඩි පරීක්ෂාවට ලක් කරන සිදුවීමක් වූ බව Reuters පුවත් සේවය වාර්තා කර තිබුණා.

සිකුරාදාවක පැවති එම තරගය මැදියම් රැයත් පසුවී අවසන් වීමෙන් පසුව 78,000ක් පමණ වූ සෙනඟට ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණීමට පැය ගණනාවක් ගත වුනා.

නවතින්න! මෙට්රෝව (උමං දුම්රිය) පිරිලා කියලා උඹලාට පේන්නේ නැද්ද? නවතින්න!“ යනුවෙන් වෙහෙසට පත් සුපවයිසර්වරු කෑගැසුවේ ක්‍රීඩාංගණයෙන් ගලා එන දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් මෙල්ල කිරීම පිණිස කොල පැහැති වෙස්ට් පැලඳි මාෂල්වරුන් දම්වැලක පුරුක් මෙන් අත් අල්ලා ගෙන වැටක් මෙන් සිටිය දී.

අපට එළියට යන්න ඉඩ දෙන්න. අපට දරුවො ඉන්නවා,“ යැයි දාඩිය පෙරෙන සිඟිත්තෙක් වඩා ගෙන සිටි එක් පිරිමියෙක් ඉල්ලා සිටියා. “අපිට වතුර ඕන. වතුර තියෙනවා ද?“ කාන්තාවක් මිනිස් පෝලිමේ පසුපස සිට කෑගැසුවා.

නමුත් වතුර තිබුණේ නැහැ!

තරගයේ පළමු භාගය අවසන් වන විට ක්‍රීඩාංගණයේ නරඹන්නන්ගේ ආසන පේලිවල ජලය අවසන්ව තිබුණු අතර ඉන් පිටතත් ජලය තිබුණේ නැහැ. ඒ වන විට උෂ්ණත්වය සෙල්සියස් 34ක් (ෆැරන්හයිට් 93) වී තිබුනත්, එය ඊට වඩා රස්නෙට දැනුණේ වායුවේ තෙතමනය නිසාවෙන්.

‘ලුසේල් සුපර් කුසලානය‘ නමින් හැඳින්වුනු මේ තරගය නව ලුසේල් ක්‍රීඩාංගණය එවැනි විශාල සෙනඟකට සත්කාරය දැක්වූ පළමු අවස්ථාවයි. ආසන 80,000කින් සමන්විත මෙය කටාරයේ ලෝක කුසලාන ක්‍රීඩාංගණ අටෙන් විශාලතම ක්‍රීඩාංගණය යි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පවත්වන පළමු මැදපෙරදිග රට මෙන් ම කුඩා ම රට ද වන්නේ කටාර් දේශයයි. යටිතල පහසුකම් වෙනුවෙන් ඔවුන් ඩොලර් බිලියන ගණනින් වැය කර ඇතත්, මෙවැනි තරාතිරමක ක්‍රීඩා ඉසව්වක් කටාරය විසින් මීට පෙර කිසි දිනෙක සංවිධානය කර නැහැ. තනි නගරයක් තුළ හෝ එය වටා තරග පැවැත්වීම ද ලෝක කුසලාන තරගාවලියකට අසාමාන්‍ය දෙයක්.

තරගාවලියේ පළමු දින 12 ඇතුළත දෝහා අගනුවර වටා දිනපතා තරග හතරක් පැවැත්වෙනවා. මිලියන තුනක ටිකට් පත්වලින් මිලියන 2.45ක ටිකට් දැනටමත් විකිණී අවසන් බවත්, කටාරයේ ජනගහණයෙන් භාගයකට ආසන්න වශයෙන් සමාන වන මිලියන 1.2ක සෙනඟක් කටාරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ එම රටට පූර්වාදර්ශ රහිත අභියෝගයක් එල්ල කරමින් බවත් ජගත් පාපන්දු සම්මේලනය පවසනවා.

හරියටම පුද්ගලයින් 77,575 දෙනෙක් එදා සිකුරාදා තරගයේ දී ලුසේල් ක්‍රීඩාංගණයේ කැරකෙන කඩුලු පසුකර ගිය බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා. මෙය කටාර් ක්‍රීඩාංගණයකට මෙතෙක් රොක්වූ වැඩි ම සෙනඟ.

ලුසේල් ක්‍රීඩාංගණය

මව්පියන් ඔවුන්ගේ තරුණ දරුවන් ද සමඟින් තරගය ආරම්භ වීමට පෙර ක්‍රීඩාංගණයට පැමිණියේ මිසර ගායක Amr Diabගේ ප්‍රසංගය නැරඹීම පිණිස. ගෝල 1-1ක සම තත්ත්වයෙන් තරගය අවසන් වීමෙන් පසුව පෙනල්ටිවලින් ඊජිප්තුවේ Zamalek කණ්ඩායම පරාජය කළ සෞදි අරාබියේ Al Hilal කණ්ඩායමේ නිල් පැහැති ජර්සිය සිය ගණන් සෞදි ක්‍රීඩාලෝලීන් පැලඳ සිටියා.

හිස් ක්‍රීඩාංගණ පිරවීම පිණිස බොහෝ විට සංක්‍රමිකයින් බස් රථවලින් රැගෙන එන තත්ත්වයක් හමුවේ සිය ගණනින් වූ දකුණු ආසියානු සහ අප්‍රිකානු සේවකයෝ සුදු, නිල් හෝ රතු කමිස පැලඳ ක්‍රීඩාංගණයේ කොටසකට වී සිටියා. ඔවුන් යළි නිවෙස් බලා යාම පිණිස බස් රථවලට ගොඩවීම සඳහා තරගයේ විරාමයේ දී රංචු පිටින් ක්‍රීඩාංගණයෙන් පිටවුනා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අත ළඟ තිබිය දී ඇති වන මේ දුෂ්කරතාවන් පිළිබඳව විමසූ විට Supreme Committee for Delivery and Legacy යන සංවිධායකයන්ගේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, මේ තරගය පැවැත්වූයේ මෙහෙයුම් ගැටලු හඳුනා ගැනීමට සහ සුමුදු ලෙස අඛණ්ඩව ගලා යන ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම පිණිස පාඩම් ඉගෙන ගැනීමට බවයි.

ලෝක කුසලාන තරගාවලියේ සංවිධානයට සම්බන්ධ සෑම කණ්ඩායමක්ම අමිල අත්දැකීමක් මෙයින් ලබා ගත්තා. ඔවුන් එය මේ වසරේ තරගාවලියට ගෙන යාවි,“ යනුවෙන් එම ප්‍රකාශකයා නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණා.

තරගයෙන් පසුව හට ගත් ව්‍යාකූලතාවේ දී පරුෂ වචනයෙන් බැණ වැදුණු එක් ක්‍රීඩාලෝලියෙක් මාෂල්වරයෙකුගේ බෙල්ලට වැලමිටෙන් අනිමින් මුර වළල්ලෙන් මිදුණේ තවත් කිහිප දෙනෙකු සමඟ උමං දුම්රිය ට යාමේ උත්සාහයක නිරත වෙමින්.

උමං දුම්රිය ස්ථානය තිබෙන්නේ ක්‍රීඩාංගණයේ සිට මීටර 400ක් දුරින් වූවත්, ක්‍රීඩාලෝලීන් කිලෝමීටර 2.5ක් දුරට පෝලිම් ගැසී සිටියා.

මේක නම් මහා අවුල් ජාලයක්“ යැයි 2004 වසරේ සිට ඩෝහා හි ජීවත් වන Eslam නම් මිසර වැසියා පවසනවා. “තත්ත්වය මෙහෙම නං මට තවදුරටත් ලෝක කුසලානයට යන්න ඕන නැහැ,“ යනුවෙන් ඔහු කීවේ දැඩි කලකිරීමෙන්.

අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතව සිටි සේවකයන්ට සහ වෛද්‍ය මණ්ඩල සාමාජිකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව එක් සේවා සැපයුම්කරුවෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළා.

සමහර ගිලන් රථ ක්‍රීඩාංගණය වටේ යමින් සිටියේ තමන් ස්ථානගත විය යුත්තේ කොතැනක ද කියා දැන ගැනීමට උත්සාහ කරමින්. අපට නැවත නැවත දී තිබුණේ වැරදි මඟ පෙන්වීමක්. වාහන ගාල් කිරීම සඳහා අපට අවසර පත් ලබා දී තිබුණේ විද්‍යාමානව නොතිබුනු තැන්වලට,“ යැයි නම හෙළි කිරීමට අකමැත්තක් දැක්වූ එම සැපයුම්කරු පවසා සිටියා.

ඉස්තරම් තත්ත්වයේ තිබෙන බවට කටාරය පවසන ලුසේල් ක්‍රීඩාංගණය ශීත කරවන පද්ධතිය ක්‍රීඩාංගණයේ ආසන පේළිවලට සිසිල ගෙන ඒමට දැරුවේ මහත් පරිශ්‍රමයක්.

වායුවේ තෙතමනය සහ උෂ්ණත්වය තරගාවලිය ආරම්භ වන විට මීට වඩා අඩු මට්ටමක තිබෙනු ඇතත්, වෙනත් අභියෝග ගණනාවක් ම කටාර් සංවිධායකයින් හමුවේ උද්ගත වනු නොඅනුමානයි.

සිකුරාදා තරගය ක්‍රීඩාංගණයේ ආරක්ෂක තත්ත්වය මැන බැලීමක් ද වුනා. තරග බිමට ආසන්නව තිබෙන ආසන පේළි අතර ඇති මඟේ සෑම මීටර කිහිපයක් පාසා අඳුරු පැහැති ඇඳුම් සහ බේස්බෝල් කැප් පැලඳ ගත් ආරක්ෂක නිලධාරීන් ස්ථානගත කර තිබුණා. අධික ලෙස උද්යෝගිමත්ව සිටිය ද මේ ක්‍රීඩාලෝලීන් හොඳින් හැසිරෙමින් සිටින අයුරු මේ ආරක්ෂකයින් අධීක්ෂණය කළා.

ක්‍රීඩාංගණයෙන් පිටත, පිරිමි පස් දෙනෙකුගෙන් හෝ කාන්තාවන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම්වලින් යුතුව ආරක්ෂක නිලධාරීන් මුර සංචාරයේ යෙදී සිටියා. කොක්කක හැඩය ගත් බැට්න් පොල්ලක් ඔවුන්ගේ බඳ පටියෙන් එල්ලෙමින් තිබුණු අතර සමහරුන්ගේ අත් සිප්වලින් ගැටගසන මාංචුවලින් පිරී තිබුණා.

තරගාවලිය සඳහා සූදානම් වීමේ කටයුතු ක්‍රීඩාංගණවලට වඩා බොහෝ ඈතට දිවෙනවා.

සෞදි අරාබිය සමඟ තිබෙන කටාර් දේශයේ එක ම ගොඩබිම දේශ සීමාව හරහා රථ වාහන තදබදය වැළැක්වීම පිණිස සංවිධායකයින් කාන්තාරයේ කොටසක් මට්ටම් කරමින් සිටින්නේ ක්‍රීඩාලෝලීන්ට එහි ඔවුන්ගේ වාහන ගාල් කොට එතැන් සිට දෝහා දක්වා වන කාන්තාර මහා මාර්ගයේ කිලෝමීටර 100ක (සැතපුම් 62) දුර යාම පිණිස බස් රථවලට ගොඩවීමට අවස්ථාව ලබා දීමට.

තරගාවලිය වෙනුවෙන් පාසල් වසා දමන ලෙස නියෝග කරමින් හා සේවක සේවිකාවන් නිවසේ සිට රාජකාරි කරන ලෙසට බල කරමින් බලධාරීන් මාර්ගවල මෝටර් රථ ධාවනය සීමා කිරීම ට තීරණය කර තිබෙනවා.

අතිරේක ගුවන් ගමන් හසුරු වීම පිණිස පැරණි ගුවන් තොටුපලක් දැන් යළිත් ක්‍රියාත්මක වන අතර කටාරයට දත්ත සකසා ගත හැකි ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තෙගුන කිරීම සඳහා නව පාස්පෝට් පාලන මැදිරි හඳුන්වා දී තිබෙනවා.

තරගාවලිය අතරතුර ගුවන් යානා ගොඩබිමට බසින ස්ථාන වැඩියෙන් නිර්මාණය කිරීම පිණිස කටාර් ගුවන් සේවය ඔවුන්ගේ ගුවන් ගමන් ෂෙඩූලය සියයට 70කින් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව, නීතිය ආරක්ෂා කිරීමේ උත්සාහයට උපකාරී වීම පිණිස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලයේ දී කටාරයේ රාජකාරියේ යෙදීම සඳහා අවම වශයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු එවන ලෙසට තරගාවලියේ සංවිධායකයින් විසින් තරගාවලියට සුදුසුකම් ලැබූ ඒ ඒ රටවලට ආරාධනය කර තිබෙනවා. එම පොලිස් නිලධාරීන් කටාර් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දීම පිණිස අභ්‍යන්තර අණ දෙන මධ්‍යස්ථානය සහ දෝහා අගනුවර වටා ස්ථානගත කරනු ඇතැයි වාර්තා වෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<