මුහුණු ආවරණයකින් ලෝකයේම අවධානය දිනා ගත් Rishi Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

27892
Rishi Dhawan

ඉන්දීය ක්‍රීඩක Rishi Dhawan මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පළමුවරට දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ඊයේ (25) උදා වුනා. ඒ Chennai Super Kings සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති තරගයේ දීයි.

එහි තිබෙන විශේෂත්වය වූයේ Punjab Kings නියෝජනය ඔහු මෙම තරගයේ දී මුහුණු ආවරණයක් ද සහිතව පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ නිරත වීමයි.

2013 වසරේ දී IPL වරම් දිනූ Rishi ඊයේ තරගයට පෙර අවසන් වරට IPL තරගයක් සඳහා ක්‍රීඩා කර තිබුණේ 2016 වසරේ දීයි. 32 හැවිරිදි Rishi ක්‍රීඩා කිරීමේ දී මෙලෙස මුහුණු ආවරණයක් පළදින්නේ කුමන හේතුවක් මත දැයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති කරුණක්. මෑතක දී ඔහු ක්‍රිකට් පිටියේ දී මුහුණ දුන් අනතුරක් මේ සඳහා හේතු වී තිබෙනවා.

මෙවර IPL තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වුණු රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පන්දුවක් මුහුණේ වැදීමෙන් ඔහු යම් විශාල අනතුරට මුහුණ දී තිබුණා. ඉන් අනතුරුව වහාම රෝහල් ගත කෙරුණු ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා.

“මම 2018 වසරට පසුව තමයි නැවතත් IPLවලට සම්බන්ධ වුනේ. පසුගිය කාලයේ දී මම මහන්සි වෙලා වගේම කැප වෙලා මගේ දස්කම් හොඳින් වර්ධනය කරගෙන දේශීය ක්‍රිකට් පිටිය තුල දස්කම් අතරට ආවා. ඒ නිසා පසුගිය දා තිබුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී Punjab Kings කණ්ඩායම මාව මිල දී ගත්තා.”

“හැබැයි මෙවර IPL තරගාවලිය පටන්ගන්න කලින් තිබ්බ රංජි කුසලාන තරගයක දී මගේ මුහුණේ පන්දුවක් වැදීම නිසා ලොකු අනතුරක් වුනා. ඒක නිසා මගේ මුහුණේ ශල්‍යකර්මයක් කරන්නත් වුනා. ඒ හේතුව නිසා මට මෙවර IPL තරගාවලියේ පළමු තරග 4 ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබුනේ නැහැ. පසුව මම Punjab එක්ක එකතු වෙලා මගේ පුහුණුවීම් ආරම්භ කරලා, දැන් වෙනකොට මම මගේ ක්‍රීඩාව හොඳින් කරගෙන යනවා”, යැයි Punjab Kings සිය සමාජ මාධ්‍ය ජාලාවල පල කළ වීඩියෝවක් සඳහා අදහස් දක්වමින් Rishi සිය අදහස් පවසා සිටියා.

යළිත් එවැනි අනතුරක් සිදුවීමෙන් මුහුණට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමේ අරමුණින් Rishi මෙලෙස පන්දු යැවීමේ දී මුහුණු ආවරණයක් පළඳින බවට වාර්තා වෙනවා. පුහුණුවීම් අතරතුර දී ද ඔහු මෙම මුහුණු ආවරණය පළදිනු ලබන අතර ඊයේ පැවති තරගයේ දී ඔහු කඩුලු 2ක් දවාගෙන Punjab ජය තහවුරු කිරීම වෙනුවෙන් දායක වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<